දෙමටගොඩ දී රෙදි සාප්පු සේවකයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සහායකයන් බව කියන අට දෙනා හඳුනා ගැනිමේ පෙරට්ටුවේ දී හඳුනා ගැනීමට සාක්කි කරුවෝ සමත් වූහ.

පරීක්ෂණ බොහෝ දුරට අවසන් වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මහත සැකකරුවෝ අට දෙනා මුදා හරිනු ලැබූහ.

රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා උසාවියට කියා සිටියේ වෙනත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවයි.

වෙනත් සැකකරුවන් යනුවෙන් ඔවුන් නම් කිසිවක් සඳහන් කළේ නැත.

පැහැර ගැනීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තුන් වැනි සැකකරුගේ දියණිය (11) ද සාක්කිකාරියක ලෙස සිය පියා හැර සෙසු සැකකරුවෝ හඳුනා ගත්තාය.

ඇගේ පියා වන තුන් වැනි සැකකරු එම පෙරට්ටුවට ඉදිරිපත් කර නොතිබිණි.

ඇගේ පියා වෙනත් පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබූ අතර සෙසු සාක්කිකරුවෝ ඔහු හඳුනා ගත්හ.

එම දැරියට කිසිදු බලපෑමක් නොකරන ලෙස සෙසු සැකකරුවන්ට ඇප   දෙද්දී මහේස්ත්‍රාත් තරේයේ අවවාද කළේය.

වීඩියෝ - කසුන් පතිරණ