(නිමන්ති රණසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිදු මල්ෂක නොහොත් ‘පානදුරේ කුඩු සළිඳු’ යන අයට සුපිරි වෙළඳ සැලකින් ආහාර පාන ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (18) අවසර ලබා දුන්නේය.

සැකකරු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධරයකු මගින් එම ආහාර පාන ලබාගැනීමට කටයුතු කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සැකකාර නඳුන් චින්තක සහ සළිදු මල්ෂක යන අය වෙනුවෙන් මෝෂන් පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් නිතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුවන් වෙනුවන් නිතීඥ සංජය ආරියදාස,  නිතීඥ ජාලිය සමරසිංහ සහ නිතීඥ ඉවෝන් නිරාශා යන මහත්ම මහත්මීන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් සදහන් කළේ තම සේවාදායකයින්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ආහාර පාන ප්‍රමාණවත් නොවන බවය. ඒ හේතුවෙන් පිටතින් ආහාර ලබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට මෙහිදී නිතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලුහ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම ඉල්ලීම්වලට ඉඩ ලබා දුන්නේය.

මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නියෝග මත දින 90ක කාලයත් තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඉකුත් ජනාරි මස 01 වැනිදාය.