ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සියලු භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා අධි තාක්ෂණ ස්කෑනර් යන්ත්‍රයක් කොළඹ වරායේ ස්ථාපනය කිරීමට යයි.

ස්කෑන් යන්ත්‍රය ස්ථාපනය කෙරෙන ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග ඉකුත් දා (21) පෙරවරුවේ කොළඹ වරාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් චාරිකවක නිරත වූහ.

ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලු භාණ්ඩ නිරීක්ෂණය කිරීම සඳහා නව තාක්ෂණයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කරන බව 2016 අයවැය මගින් ප්‍රකාශයට පත් විය. ඒ අනුව ලබන 2016 වසරේ මාර්තු 31 දින වන විට අදාළ ස්කෑන් යන්ත්‍රය කොළඹ වරාය පරිශ්‍රයේ සුදුසු ස්ථානයක ස්ථාපනය කළ යුතු ව ඇති අතර අප්‍රේල් මස (01) පළමු වැනි දින සිට සියලු බහාලුම් මෙම ස්කෑන් පරික්ෂාවට ලක් කැරෙයි. නීති විරෝධී භාණ්ඩ හඳුනා ගැනීමටත්, ඒවා රටට ඇතුළු වීම වැළැක්වීමටත් මේ පියවර ගැනේ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් චන්ද්‍රා ඒකනායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සේමසිංහ, වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර ද එක් වූහ.