IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හේමසිරිගේ - නිලන්තගේ හඬපට අහද්දි ඔවුන් කිසිවකු ආරක්ෂා කරන බවක් හැඟෙනවා

(*** මුදිතා දයානන්ද)

“හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් කොමිසමට ඉදිරිපත් කරන ලද හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා ජයවර්ධන මහතා අතර දුරකතන සංවාදයක් ඇතුළත් හඬ පටය ශ්‍රවණය කරන විට ඔවුන් කිසියම් පුද්ගලයකු ආරක්‍ෂා කරන්නට උත්සාහ කරන බවක් හැඟී යනවා” යැයි පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඊයේ (14) ප්‍රකාශ කළේය.

සභාපතිවරයා මෙම ප්‍රකාශය කළේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ රැස්වූ අවස්ථාවේ නිලන්ත ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද හඬ පටයකට සවන්දීමෙන් අනතුරුවය.

තමන්ගේ නිරවද්‍යතාව ඔප්පු කිරීමට තවදුරටත් සාක්‍ෂි අවශ්‍ය වුවහොත් තාක්‍ෂණික සාක්‍ෂි ඉදිරිපත් කිරීමට සූදානම් බවට ජයවර්ධන මහතා තම සාක්‍ෂි ලබාදීමේදී මීට පෙර ප්‍රකාශ කළේය.

එය ඒ අවස්ථාවේ ඉදිරිපත් කරන ලෙස කොමිසම නියෝග කළත් ජයවර්ධන මහතා පැවැසුවේ එය අත්‍යවශ්‍ය වුවහොත් පමණක් ඉදිරිපත් කිරීමට සූදානම් බවය.

කොමිසම ස්ථාපිත කළ පනතේ බලතල අනුව එම තාක්‍ෂණික සාක්ෂිය කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය. එය මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළ නොහැකි බැවින් මාධ්‍ය නොමැතිව ඉදිරිපත් කිරීමට ජයවර්ධන මහතා කළ ඉල්ලීම කොමිසම ප්‍රතික්‍ෂේප කළේය.

මෙම හඬ පටයට සවන්දීමෙන් අනතුරුව කොමිසමට සහාය දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහභාගී වන නීතිඥ කණ්ඩායමේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නවලට නිලන්ත මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය - මෙම සංවාදය පටිගත කළේ කොයි කාලේ ද?

පිළිතුර - 2019 අප්‍රේල් අග හෝ මැයි මුලදී.

 

ප්‍රශ්නය – කොහොම ද මේක පටිගත කළේ?

පිළිතුර - මගේ ජංගම දුරකතනයෙන් පටිගත කර සංයුක්ත තැටියකට ගෙන දැන් මගේ ලැප්ටොප් පරිගණකයේ එය තැන්පත් කර තිබෙනවා.

 

ප්‍රශ්නය - ඇයි මෙවැනි සංවාදයක් පටිගත කරන්න හිතුවේ?

පිළිතුර - රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මම මගේ වගකීම ඉටුකළා. ඒත් පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව මටත් රාජ්‍ය බුද්ධි අංශයටත් විවිධ පාර්ශ්ව දැඩි ලෙස පහරදෙන්න ගත්තා. මගේ නිර්දෝෂීභාවය පෙන්වීමටත්, රාජ්‍ය බුද්ධි අංශයේ කීර්තිනාමය රැකගැනීමත් වෙනුවෙන් තමයි මේක කළේ.

 

කොමිසමේ සභාපතිවරයා - ජයවර්ධන මහතා මේ හඬ පටයත් මීට පෙර ඉදිරිපත් කළ හඬ පටත් කොමිසමට ඉදිරිපත් කළේ ඔහුගේ ලැප්ටොප් පරිගණකය භාවිත කරලා. එහි තවත් මෙවැනි හඬ පට තිබෙන්න පුළුවන්. ඒ නිසා කොමිසම ස්ථාපිත කළ පනත අනුව හිමි බලතල අනුව මෙම ලැප්ටොප් පරිගණකය අපගේ පොලිස් විමර්ශන ඒකකයට භාරදෙන ලෙස නියෝග කරනවා. එසේම පොලිස් විමර්ශන කොමිසමට නියෝග කරනවා එම පරිගණකයේ ඇතුළත් පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ හඬ පට හෝ වෙනත් ලේඛන තිබේ නම් ඒවා පමණක් පිටපත් කරගන්නා ලෙස. එසේ පිටපත් කරගැනීමෙන් පසු එය නැවත නිලන්ත මහතාට බාරදෙන ලෙස ද නියෝග කරනවා. මෙම පරිගණකයේ තවත් හඬ පට තිබෙනවා ද?

පිළිතුර - කලින් මා ඉදිරිපත් කළේ දුරකතන සංවාදයක් නෙවෙයි නිවසේදී කළ කතාබහක්. අද ඉදිරිපත් කළේ දුරකතන සංවාදයක්. තවත් එක හඬ පටයක් මේ ලැප්ටොප් පරිගණකයේ තිබෙනවා.

මෙහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඉල්ලා සිටියේ මෙම දුරකතන සංවාදයේ පිටපතක් තමන් වෙත ලබාදෙන ලෙසත්, එම සංවාදය යම් සංස්කරණයකට ලක් කර තිබේ නම් එය දැන ගැනීමට ඔහු එම සංවාදය පටිගත කළ ජංගම දුරකතනය ද කොමිසම භාරයට ගෙන රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අදහස් ද විමසීමෙන් අනතුරුව කොමිසම නියෝග කළේ එම ජංගම දුරකතනය කොමිසම භාරයට ගන්නා ලෙසය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විසින් ඊයේ දිනයේ නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතව තිබුණ ද හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළ ඔහු දිවා විවේකයෙන් පසු කොමිසමට සම්බන්ධ වූයේ නැත. ඔහු වෙනත් කොමිසමකට සම්බන්ධ වීමට පිටව ගිය බවත් වෙනත් දින දෙකක් ලබාදෙන ලෙසත් කනිෂ්ඨ නීතිඥයකු මගින් කොමිසමෙන් ඉල්ලීමක් කරනු ලැබීය. එහෙත් ඔහු කලින් ඒ පිළිබඳව දැනුවත් කර නැති බව පැවැසූ කොමිසමේ සභාපතිවරයා ඔහුගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ අතර ඔහුට වෙන්කර තිබෙන අද (15) දිනය පමණක් ලබාදෙන බව ද එම දිනයේ අවශ්‍ය නම් හරස් ප්‍රශ්න විමසිය හැකි බව ද ප්‍රකාශ කළේය.

හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසංක ගුණවර්ධන මහතා ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවේය.

 

ප්‍රශ්නය - 2018 ඔක්තෝබර් මාසයේදී දේශපාලන පෙරැළියක් ඇති වූ බව ඔබට මතක ඇති. එයින් පසු අගමැතිවරයාටත්, ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිටත්, පොලිස්පතිටත් ආරක්‍ෂක කවුන්සිල රැස්වීම් කියන්න එපා කියලා ජනාධිපති උපදෙස් දුන් බව ඔබ දන්නවා ද?

පිළිතුර - නැහැ. ඒත් එම ආණ්ඩු පෙරැළිය අවස්ථාවේදී ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැතිවරයෙක් පත්කළ බව නම් මතකයි.

 

ප්‍රශ්නය - ඔබට මතක ද 2018 ඔක්තෝබරයෙන් පසු පාස්කු ඉරු දින ප්‍රහාරය දක්වා හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයා ආරක්‍ෂක කවුන්සිලයට සම්බන්ධ වූ බවට?

පිළිතුර - ඔහු සම්බන්ධ වූ බවක් මට මතක නැහැ.

 

ප්‍රශ්නය - ඔබට 2019 අප්‍රේල් හතරවැනිදා ලැබුණ තොරතුර අනුව ඔබ විවිධ පාර්ශ්වයන්ට ලිඛිතව දැනුම්දීම් කර තිබුණා. එහි පිටපතක් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාට ලබාදුන්නා ද?

පිළිතුර - නැහැ

 

ප්‍රශ්නය - ඔබට 2019 අප්‍රේල් 20 වැනිදාත් හෙට පහර දෙනවා කියලා තොරතුරක් ලැබුණ බව කිව්වා. එයත් ඔබ විවිධ පාර්ශ්වයන්ට දැනුම් දුන්නා. එය රුවන් විජයවර්ධන මහතාට ලබාදුන්නා ද?

පිළිතුර - නැහැ.



අදහස් (0)

හේමසිරිගේ - නිලන්තගේ හඬපට අහද්දි ඔවුන් කිසිවකු ආරක්ෂා කරන බවක් හැඟෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site