(විමුක්ති එස් රුද්‍රිගූ)

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ආරක්ෂිතව යාත්‍රා කළ හැකි බව සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහාය ලබාදෙන බව ජපානය, කැනඩාව සහ යුරෝපයේ ප්‍රධාන රටවල් කීපයක් පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එසේම බලශක්ති වෙළඳපොල ස්ථාවර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද එම රටවල් ඉදිරිපත් වන බව ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විණි.

ජපානය, කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ඉතාලිය එම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කළ රටවල් රටවල් වේ.

ගල්ෆ් කලාපයේ නිරායද වෙළඳ නෞකාවලට, ගෑස් සහ ඉන්ධන ඇතුළු සිවිල් යටිතල පහසුකම් වලට ඉරානය එල්ල කරන ප්‍රහාර දැඩිව හෙලා දකින බවත් වර්ධනය වෙමින් පවතින මැද පෙරදිග කලාපයේ යුධ තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පල කරන බවත් එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

ඉරානය එල්ල කරන තර්ජන, මුහුදේ බෝම්බ ඇටවීම, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළුව හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඉරානය ගන්නා සියලුම ක්‍රියාමාර්ග වහාම නතර කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්වේ.

ජාත්‍යන්තර මුහුදේ නිදහසේ යාත්‍රා කිරීමට හැකිවීම ජාත්‍යන්තර නීතියේ ප්‍රධාන මූලධර්මයක් බව ද එම නිවේදනය පෙන්වා දෙයි.

ඉරානයේ ක්‍රියාවන් මුළු ලෝකයටම බලපෑමක් එල්ල කර ඇති බවත් විශේෂයෙන් දැඩි අවධානම් රටවලට එය බලපා ඇති බවත් එම නිවේදනයේ සඳහන්වේ.

ගෝලීය බලශක්ති සැපයුමට සහ ජාත්‍යන්තර නැව් මාර්ග වලට බාධා කිරීම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවද එම නිවේදනයේ දැක්වේ.

ඒ හේතුවෙන් ගෑස්, පින්දෙන ඇතුළුව සිවිල් යටිතල පහසුකම් මධ්‍යස්ථානවලට ඉරානය එල්ල කරන ප්‍රහාර වහාම නතර කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්වේ.

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සිය රටවල් සූදානම් බවත් බලශක්ති සැපයුම ස්ථාවර කිරීමට අවශ්‍ය සියලුම පියවරයන් ගන්නා බවත් එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා මැද පෙරදිග අර්බුදයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති රටවලට සහාය සැපයීමට සිය රටවල් සූදානම් බව එම නිවේදනයේ සඳහන්වේ.