හම්බන්තොට මහ රෝහලේ විදුලිය බල ප්‍රශ්නයක් හේතුවෙන් හදිසි සැත්කම් හැර සෙසු සියලු සැත්කම් පසුගිය සිකුරාදා (01) සිට නතර කර ඇති බව මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියන්ත සිංආරච්චි මහතා පැවසීය.

ප්‍රධාන විදුලි සැපයුම ඇන සිටින අවස්ථාවල දී රෝහලේ විදුලි උත්පාදන යන්ත්‍රය ස්වංක්‍රීයව ක්‍රියාත්මක නොවන අතර එය යන්ත්‍ර ක්‍රියාකරුවකු විසින් ක්‍රියාත්මක කළ යුතුය.

ජනවාරි පළමු වැනි දා විදුලිය විසන්ධි වීමෙන් විදුලි උත්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කර ගැනීමට විනාඩි 35කට ආසන්න කාලයක් ගත වූ බවත්, ජංගම දුරකතන එළියෙන් ඒ අවස්ථාවේ කරමින් සිටි සැත්කම අවසන් කළ බවත්, අනාරක්ෂිත සැත්කම් කිරීමෙන් රෝගීනට සිදුවන අපහසුතා මග හරවා ගැනීමේ අරමුණෙන් සැත්කම් නතර කිරීමට සිදුවූ බවත් ශල්‍ය වෛද්‍යවරු කියති.

මේ පිළිබඳ විමසීමට රෝහල් අධ්‍යක්ෂට ඇමතුමක් ගත්තද ඔහු ඒ වන විට රෝහලේ නොසිටියේය. රෝහලේ පරිපාලන නිලධාරියකු කීවේ ප්‍රශ්නය විසඳීමට පියවර ගෙන ඇති බවයි.