ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාවේදී සුභ සාධක වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලද බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ පවසති.

මෙම වැඩ කටයුතු ආරම්භ වුයේ අතුල දස්සන විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක් වන වෛද්‍ය නිශානි බජ්රමොවිච් විසින් අයගේ මෑණියන් හට පින් පැමිණවීම උදෙසා මහා සංඝයා වහන්සේ උදෙසා දානය පිරි නැමීමෙන් සහ රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නේවාසික  274 දෙනෙකු හට උදෑසන ආහාර පානාදිය ලබාදීමේ පින්කමකිනි.

කස්සප හිමියෝ ධර්ම දේශනයක් පැවැත්වූහ. මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ජායනය කර සියලුම වැඩිහිටි පිරිසට සෙත් පැතුහ.

මේ අතර හිත්රෝ විහාරස්ථානයේ දායක දායිකාවන් විසින් විහාරස්ථානයට පුජා කළ දත් බුරුසු, සබන් වර්ග සහ සුළු ආහාර පානාදිය සියල්ලම මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන දරු දැරියන් අතරේ බෙදාහරිනු ලැබුහ.

දින හිත්රෝ විහාරස්ථානය මඟින් සංවිධානය කරනු ලැබූ ආහාර සල්පිලෙන් රැස්කරගන්නා ලද සියලුම මුදල් යොදා ගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දුෂ්කර

යුධමය වාතාවරණයක් පැවති කාලයේ ත්‍රස්ත ප්‍රහාරන්ට නිරන්තරයෙන් ගොදුරුවූ ගෝමරන්කඩවල පුලියන්ඩිකුලම විද්‍යාලය, කල්‍යාණිපුර විද්‍යාලය, මයිලවැව විද්‍යාලය සහ වීර කොබ්බැකඩුව පෙර පාසල්  වැවට පොත් පත්  හා උපකරණ  පිරිනැමීනි.

දරුවන්ගේ පාසල් ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි, පොත්පත්, පෑන් පැන්සල්, රුපවාහිනි යන්ත්‍ර සහ වීඩියෝ යන්ත්‍ර සහ ගුරු මණ්ඩලය සඳහා රෙදිපිළි  ආදිය ද පරිත්‍යාග කැරිණි.

මෙයට අමතරව වෛද්‍ය නිශානි බජ්රමොවිච් පුලියන්කුලම පාසල් භුමියේ පිහිටි බෝධීන්වහන්සේගේ ආරක්ෂාව සඳහාත් දරුදැරියන් හට එම ස්ථානයේ සිට දෛනික ආගමික කටයුතු පැවැත්වීම සඳහාත් උපකාරීවන අන්දමට අවශ්‍යව තිබු පිළිසකර කටයුතු කිරීමට බරපැන ද  පිරික්සුවාය.

වල් අලි ප්‍රහාරයන් නිසා විනාශයට පත්ව තිබුන එම ආරක්ෂක බැම්ම ගොඩනැඟීම සඳහා ගම්වාසිහු විසින් ශ්‍රම දායකත්වය ලබාදෙනු ලැබිය.

මෙයට අමතරව හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය එම පාසල්වලින් තෝරාගන්නාලද දරු දැරියන් 8 දෙනෙකුහට ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.

මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වනතුරු අවශ්‍ය මුල්‍යමය ආධාර ලබාදෙනු ලබන අතර එම දරුවන් දිගටම අධ්‍යාපනය කටයුතු කරගෙන යාම සඳහා උනන්දු කිරීමත්, දහම කෙරෙහි ඔවුන් තුල කල්පවත්නා ළැදියාවක් ඇතිකිරීමත් පාසල් විෂයන්ගෙන් බාහිර වූ ක්‍රීඩා වැනි වැඩ කටයුතු සඳහා යොමුකිරීමත් මෙම ශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණ බලාපොරොත්තු වන බව  කස්සප හිමියෝ පැවසුහ.

ගොවිතැන් සඳහා සහභාගීව සිටියදී සිදුවුන අවාසනාවන්ත අනතුරකින් තම පාදය අහිමිවූ දහසය හැවිරිදි දරුවකු සඳහා අවශ්‍ය කෘත්‍රීම පාදයක් ලබාදීම සඳහා ප්‍රතිපාදන ලබාදීමද එදින සිදුවිය.

ගෝමරන්කඩවල ගම්මානයේ අක්කර 20ක භුමි භාගයක් එළි පෙහෙළි කර යළිත්වරක් ගොවිතැන් කිරීම සඳහා ගැමියන්හට ලබාදීමට මාකඳුරේ මහින්දසෝම හිමියන් ගෙනයන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ප්‍රදානය කැරිණි.

එම ගමට  පිරිසිදු පානිය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ද කටයුතු අආරම්භ කරනු ලැබිය.

මෙම උත්සවය අවසානයේදී සියලුම පාසල්වල සිසු සිසුවියන් මනරම් විවිධ ප්‍රසංගයක්ද ඉදිරිපත් කළහ.

මෙම පිංකමේ  මුලිකත්වය ගෙන ක්‍රියාකළ වෛද්‍ය නිශානි බජ්රමොවිච් ඇතුළු විහාරස්ථ දායකා කාරකාදීන් සහ හිත මිතුරන් සියලුදෙනාටත් එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අයුරින් උදව් උපකාර කළ ශ්‍රී ලංකාවේ මහා සංඝයා වහන්සේ ඇතුළු සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන බව පැවසු කස්සප හිමියෝ  මෙම වැඩ කටයුතු අනාගතයේදීත් කරගෙන යාමට බලාපොරොත්තු වන බවද පැවැසුහ.