(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬ පට පිටට දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17 ) පැවසීය.

එය  පාර්ලිමේන්තුව ගත් තීරණයක් බවද   ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා සිය වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ පාර්ලිමේන්තු කාරක සභාවේදී  තමාට කළ තර්ජනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ඒ හඬ පටය අවශ්‍ය බවයි.

මෙහිදී අදහස් දැක්වූ පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මන්ත්‍රීවරයාට තර්ජනය කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවයි.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කතානායකවරයා බැඳී සිටින බව පැවසූ කිරිඇල්ල මහතා එම හඬ පටය නිකුත් කරන්නැයි  ඉල්ලා සිටියේය.

" ඔබතුමා ඉන්නේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න. හමුදාව ආරක්ෂා කරන්න නොවෙයි" යැයිද  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීය.

වීරක්කොඩි මන්ත්‍රීවරයාට තර්ජනය කිරීම  අනුමත කරන්නේ දැයි  ඔහු කතානායකවරයාගෙන්  විමසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා පැවසුවේ එම හඬ පටය වරප්‍රසාද කමිටුවේදී වාදනය කළ හැකි බවයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ කාරක සභාවකදී මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීමට අදාළ හඬ පටය  නිකුත් කිරීමට  කතානායකවරයා බැඳී සිටින බවයි.

තමා එම තර්ජනය සම්බන්ධයෙන්  අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.