(අංජුල මහික වීරරත්න)

ජනතාවට සපයන සෞඛ්‍ය තොරතුරු කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට  කැපවිය යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 

ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දිගුකාලීන ආයෝජනයක් සිදුකිරීම මෙන්ම පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා දීර්ඝකාලීන සහායක් අවශ්‍ය බව අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  නව දිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ (WHO SEARO) දී පැවති "2026 ලෝක සෞඛ්‍ය දිනය" නිල සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ වත්මන් සභාපතිවරයා (Chair of the WHO Regional Committee for South-East Asia) වශයෙනි.

ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව සංවිධානය කරන ලද මෙම උළෙල මෙවර පවත්වන ලද්දේ “Together for Health: Stand with Science” යන තේමාව යටතේය.

විද්‍යාව පෙරදැරි කරගෙන ලබන ජයග්‍රහණ අව වරප්‍රසාදිත ජනතාව වෙත සමීප කරවීම රජයේ අභිලාෂය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.