(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා ධීවර සංස්ථාව සේවක අර්ථසාධක අරමුදලට(E.P.F) සහ සේවක බාරකාර අරමුදලට (E.T.F) රුපියල් කෝටි 60 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි.
එම අරමුදල්වලට එලෙස මුදල් ගෙවීම පැහැරහැරීම නරක පූර්වාදර්ශයක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපතිවරයා මේ අනුව ධීවර සංස්ථාවේ ප්‍රධානීන්ට නියම කළේය.
මේ අතර සපයන ලද මාළු වෙනුවෙන් ධීවර අලෙවිසල් සහ රෝහල් යනාදී ස්ථාන රැසක් ධීවර සංස්ථාවට රුපියල් කෝටි තිහකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයිද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.
මේ තොරතුරු අනාවරණය වූයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 25 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මේ අතර ලංකා ධීවර සංස්ථාව ප්‍රති ව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනා කැඳවන ලෙසද කමිටුව ධීවර සංස්ථාවේ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.
රජයේ රෝහල්වලට ලංකා ධීවර සංස්ථාව දේශීය මාළු වර්ග ලබා නොදී තලපත් මාලු විදේශයන්ගෙන් ආනයනය කර දෙන බවට මෙහිදී සඳහන්වීමෙන් පසු කෝප් කමිටු නියෝජිතයෝ ඒ සම්බන්ධයෙන් සංස්ථා බලධාරීන්ගෙන් කරුණු විමසුහ. එහෙත් ඊට පැහැදිලි පිළිතුරක් ලබාදීමට සංස්ථා බලධාරීන් අපොහොසත්වූ බව එහි ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd