(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වසංගතයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ නාගරික සංවර්ධන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති සංස්ථා හා මණ්ඩල පහක සේවක වැටුප් පවා ගෙවිය නොහැකි අන්දමින් මූල්‍ය  අර්බුදයකට ලක්ව ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව , රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය යන ආයතන පහ මෙම අර්බුදයට මුහුණ දී සිටී.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මැයි මස වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 117 ක පමණ මුදලක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් කෝටි 48 ක් ද , ඉන්ජිනේරු සංස්ථාවට රුපියල් කෝටි 42 ක්ද රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාවන්ට රුපියල් කෝටි 17 ක පමණ මුදලක්ද ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයට රුපියල් කෝටි 7 ක් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට රුපියල් කෝටි 3 ක්ද වශයෙන් මෙම මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.