(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදල් ඇමතිවරයාගේ අය වැය යෝජනා ඉදිරිපත් කිරීම ශ්‍රවණය කිරීම උදෙසා ඉතිහාසයේ පළමු වතාවට පාසල් සිසුන් හා තරුණ කණ්ඩායම් වලින් පාර්ලිමේන්තු මහජන ගැලරිය අද (14) පිරී ඉතිරි ගොස් තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ලෙස 2023 අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ පාසැල් සිසුන් 400 ක් හා යොවුන් පාර්ලිමේන්තුව මෙන්ම විවිධ තරුණ සංවිධාන නියෝජනය කරමින් 100 කට ආසන්න තරුණයෝ පිරිසක් මහජන ගැලරියට පැමිණ සිටියහ.

ජනාධිපතිවරයාගේ දැනුම්දීම මත මෙම පිරිස පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ඔවුන්ට තේ පැන් සංග්‍රහයක් ද රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි සපයා තිබිණි.

පසුව මෙම පිරිසෙන් තරුණ තරුණියන් කොටසක් පාර්ලිමේන්තු පිවිසුම් ද්වාරය අසලදී අහඹු ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මුණ ගැසුණු අතර ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ද ජනපතිවරයා අමතක නොකළේය. “තරුණ තරුණියන්ගේ අනාගතය ඉලක්ක කර ගනිමින් මෙම අය වැය ඉදිරිපත් කර ඇති බවත් 2025 වන විට එහි ප්‍රතිඵල අත්විදිය හැකි බවත්“ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තරුණ පිරිසේ ප්‍රශ්න කිරිම් හමුවේ පැවසීය.

පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම වන තඹ දොර අසලදී විනාඩි 20 ක පමණ කාලයක් තරුණ පිරිස් වෙත පිළිතුරු සැපයූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගීවීම සඳහා  පිටත්ව ගියේය.