(හර්ෂණ තුෂාර සිල්වා)
පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් කර නැතැයි විදේශ කටයුතු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවැසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සැඟවීමට කිසිවක් නැතැයි ද සිද්ධිය සහ ඉන් පසු ආණ්ඩුව ගන්නා ලද සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ සිටින සියලු තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා දැනුම් දුන් බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
“ස්විට්සර්ලන්තය කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් අපි මෙරට සිටින සියලු තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් දැනුවත් කළා. නොවැම්බර් 25 වැනිදා පස්වරුවේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආගමන අංශ අධ්‍යක්ෂ නිලධාරියාගේ කාර්යාල කටයුතු කරන ශ්‍රී ලාංකික කාන්තාව රාජකාරි නිම වී යද්දී පැහැර ගැනීමට ලක්ව තිබෙන බවත් ඇයට ජීවිත තර්ජන කර ඇති බවත් තානාපතිවරයා නොවැම්බර් 27 වැනිදා අපට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා විදේශ සබඳතා අමාත්‍යාංශයට ඇවිත් තමයි ඒ බව දැනුම් දුන්නේ.
ඒ වනවිට නොවැම්බර් 26 වැනිදා ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළකර තිබුණා. එම සිදුවීමේ සත්‍ය අසත්‍යතාව ප්‍රශ්න කර තිබුණා.
තානාපතිවරයා සිටියදීම පොලිස්පතිවරයා රහස් පොලිසියට මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්නැයි උපදෙස් දුන්නා.
මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යෑම සඳහා පැහැර ගැනීමට ලක්වූ බව කියන තැනැත්තියගෙන් කටඋත්තරයක් ලබාගත යුතු බව නිලධාරීන් දැනුම් දුන්නා.ඇයගෙන් සිදුවීම පිළිබඳ තොරතුරු ලබාගත යුතු බව ද ඔවුන් කීවා.
එදිනම පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ස්විට්සර්ලන්ත තානාපතිවරයා අතර හමුවක් පැවැත්වුණා.
රජය, රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද උල්ලංඝනය නොකරන බවත් ඕනෑම පුරවැසියකුට එරෙහිව මේ ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් හෝ එවැනි කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලිසිය වහාම ක්‍රියාත්මක වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේදී තානාපතිවරයාට දැනුම් දුන්නා.
ඒ අනුව රහස් පොලිසිය දිගින් දිගටම මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා. පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය ජීවත්වන ස්ථානයේ නොසිට වෙනත් ස්ථානයකට ගමන් කර තිබෙන බව පසුව දැනගන්නට ලැබුණා.
ඒ අතරවාරයේදී පසුගිය සති අන්තයේ විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් තානාපතිවරයාට කරුණු පැහැදිලි කළා.
පැහැර ගැනීමට ලක්වූ බව කියන තැනැත්තිය රෝගී තත්ත්වයකින් පසුවන නිසා ප්‍රතිකාර ලබාගැනීම සඳහා එම තැනැත්තිය රෝහල් ගුවන් යානයකින් ස්විට්සර්ලන්තයට ගෙන යෑමට ස්විට්සර්ලන්ත රජය තානාපති කාර්යාලය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.
එහෙත් මේ කියන පුද්ගලයා කවුද කියාවත් නොදැන, ශ්‍රී ලාංකිකයකුද කියාවත් මෙතෙක් ප්‍රකාශ කර නොමැති, ගමන් බලපත්‍රයක් පිළිබඳවවත් තොරතුරක් නැති කෙනෙකුට රටින් පිටවීමට ඉඩ නොදිය හැකි බව අපි තානාපතිවරයාට දැනුම් දුන්නා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නීතිය, ශ්‍රී ලංකාවේ ආගමන නීතිය
අනුව කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනන්‍යතාව තහවුරු නොකර රටින් පිටවෙන්න බැහැ.
ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඒ බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දුන්නා.
ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අපේ තානාපතිවරයා කැඳවා තිබුණා. එහිදීත් අපේ තානාපතිවරයා ඔවුන්ට සියලු කරුණු දැනුම් දී තිබෙනවා. තිබෙන නීති අනුව මේ පරීක්ෂණය හමාර කළ යුතුයි. ඒ බව අපි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දුන්නා. ඒ බව මෙරට සිටින සියලු තානාපතිවරුන්ටද දැනුම් දුන්නා.
මහජන අනුමැතියකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ව්‍යාජ පුවත් රැසක් පළවුණා. පදනම් විරහිත චෝදනා රැසක් එල්ල වුණා.
ඔවුන් කවුදැයි පසුගිය සමයේ අනාවරණය වුණා. ඒ නිසා රටේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීමක් හැමෝටම තිබෙනවා. ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගත්තේයැයි කියන සිදුවීමත් එවැනි එක් පදනම් විරහිත චෝදනාවක් බව හැඟී යනවා. මේ විමර්ශන ඉදිරියට කරගෙන යෑම සඳහා පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නැහැ.
තානාපතිවරයා දුන් කෙටි වාර්තාවක් මත තමයි දැනට පරීක්ෂණ කර තිබෙන්නේ. ඒ අනුව පොලිසිය අදාළ නිලධාරිනියට රටින් පිටවීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ගත්තා.
රටට එරෙහිව පදනම් විරහිත චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. පොලිසිය තහනම් නියෝග යක් ගෙන තිබෙනවා. ජාත්‍යන්තරවත් අප සම්බන්ධයෙන් ද්වේශසහගත ප්‍රචාරයක් ක්‍රියාත්මක වන බව සඳහන් කරන්න කළ යුතුයි.
චෝදනාවක් එල්ල කරද්දී ඊට වගකීමක් තිබෙන්න ඕනෑ. පදනමක් තිබෙන්න ඕනෑ. ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. මේ සිදුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශය දිනපතා සාකච්ඡා පවත්වමින් තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කරනවා. ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය ආරක්ෂා කරගනිමින් රටේ නීතියට අනුව රජය කටයුතු කරනවා.
එසේ තිබියදී ඇතැම් පාර්ශව රටේ කීර්තිනාමයට හානි කරන්න සූදානම් වෙනවා. පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය ආරක්ෂිත ස්ථානයක සිටින බව ද තානාපතිවරයා දැනුම් දී තිබෙනවා.
ඇගේ සෞඛ්‍ය තත්ත්වය නිසා පැමිණිල්ලක් දිය නොහැකි බව තානාපතිවරයා දැනුම් දුන්නත් කට උත්තරයක් හෝ ප්‍රකාශයක් දිය හැකි බව ඔවුන් කියා නැහැ. ඒ නිසා මේ පරීක්ෂණ ඉක්මනින් අවසන් කිරීමට පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියගේ කටඋත්තරයක් හෝ ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා. ඇය පැමිණිල්ලක් කර මේ සම්බන්ධයෙන් කටඋත්තරයක් හෝ ප්‍රකාශයක් ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
ඒ වගේම අනවශ්‍ය බියක් ඇති කළ යුතු නැහැ. අපි රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද උල්ලංඝනය කරන්නේ නැහැ. මේ රටේ ඕනෑම පුද්ගලයකුට ආරක්ෂාව තිබෙනවා. එම ආරක්ෂාව අප තහවුරු කර තිබෙනවා.
එහෙත් ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් රටේ නීතියට අනුව කටයුතු කළ යුතු යැයිද ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කීය.
විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මිසක්? අපේ මිනිස්සු මුහුද හත්ගව්වක් තියා අමුඩේ ගහනවනේ? ඔන්න දැන් අර සිමා නැති මාද්යවේධියෝ කියන සංවිධානෙත් ලංකාවට කැති පොලු මුගුරු උස්සන්න හදනවලු.
"..කුම්බලා මාළු කෑවානම් විඳවපන්.." කීවාලු.
අපි දන්නේ මාද්යවල යන ආණ්ඩුවෙන් කියන කතාව විතරය්. මේ කාන්තාව සැබවින් කියන කතාවයි ස්විස් තානාපති කාර්යාලය කියන කතාවයි අපි කවුරුවත් විස්තරාත්මකව දන්නේ නැහැ හැබයි අනිකුත් රටවල තානාපතිවරුයි මහාකොමිසාරිස්වාරුයි නම් ඒ කතාවත් දන්නවා ඇති නිසකවින්ම. රටට බොරු කලත් ලෝකයට බොරුකරන්න බැහැ.
මේ වගේ බොරු කියලා රටින් පැනපු අය කොච්චර ඉන්නවද, කැනඩාව, ඔස්ට්‍රලියාව වගේ ම යුරෝපෙත්. මේ අය ගැන හොයන්න ඕනේ.
"ශ්‍රී ලාංකික කාන්තාව රාජකාරි නිම වී යද්දී" මේක ඝෝඨාභය මහතාට මඩ ගැසීම සහ මරණීය තර්ජන ඇති කියා මේ තැනැත්තියට ස්විස් රටට සරණාගතයෙක් සේ පැන යාමට කරන උප්පරවැට්ටියක්.
'ශ්‍රී ලාංකික කාන්තාව රාජකාරි නිම වී යද්දී පැහැර ගැනීමට ලක්ව තිබෙන බවත් ඇයට ජීවිත තර්ජන කර ඇති බවත් තානාපතිවරයා නොවැම්බර් 27 වැනිදා අපට දැනුම් දුන්නා' මේ දැනුම් දීම මදිද පරීක්ෂණ කරන්න. එහෙම නැත්නම් තානාපතිවරයා කියන්නේ බොරු කියල හිතනවද?
පැමිණිල්ලක් ඇතත් නැතත් පොලිසිය විභාග කලානෙ. තීන්දුත් දීලා තියෙන්නෙ.
සිදුවෙන දේවල්වල හැටියට නම් අපි නොදන්නා, රටෙන්ම සඟවන දෙයක් මෙතන තියෙනවා. තානාපති කාර්යාලය කරන්නේ නිවැරදි දේ නොවන බව නම් ස්ථිරවම කියන්න පුළුවන්. ඒ කාන්තාවට තානාපති වරප්‍රසාද නැහැ. එහෙම තියෙද්දී අපේ පොලිසියට කට උත්තරයක් නොදී ඉන්න ඇයට පුළුවන් වෙන්නේ කොහොමද? සමස්ත පරීක්ෂනයම රැඳිල තියෙන්නේ ඒ කාන්තාව කියන දේ මත නේද?
මේ කාන්තාව ගෙන් කට වචනයෙන් සාක්ෂි නොගෙන යන්න දෙන්න එපා. මේ සුද්දන්ට අයිති කොලනියක් නොවේ.
ස්විස්ටේර්ලන්ඩ් යනු ඇමරිකන් අර්ම්ස් වෙළෙන්දෝ හදපු රට මේක පිටුපස ඉන්නේ ඇමරිකන් එම්බසිය. කලින් ආණ්ඩුව කාලේ ඇමරිකන් ගුවන් යනේයෙන් ගෙනාපු කට්ටිය යන්න විදියක් නැතුව ඉන්නේ ඒක නිසා ගුවන් යානයක් ගෙනෙල්ලා කට්ටියට යන්න හදන විදිය වගේ පෙන්නේ.
මේ පිළිබඳ ප්‍රශ්න කීපයක් මා ඉදිරිපත් කරනවා.. 1. මෙම කාන්තාව මොන ජාතියකට අයත් මොන රටේ පුරවැසියෙක්ද? 2. ඇය තානාපති කාර්යාලයේ කුමන රැකියාවක නිරත වන්නියක්ද? 3. මැය හට ස්විස් පාස්පෝට් එකක් හිමිව ඇත්ද? 4. මෙතෙක් සිදු කල පරීක්ෂන අනුව ඇය ආගිය වාහන හා ස්ථාන වලින් පැහැර ගැනීමක් පිළිබඳ කිසිදු වාර්තාවක් ඉදිරිපත්වී නැති බවට කල මාධ්‍ය වාර්තා ඇය පිලිගන්නේද? 4. තමන්ට සිදුවූ අගතිය පිළිබඳ ප්‍රකාශයක් පොලිසියට ලබා නොදී ජාත්‍යන්තරයට තොරතුරු ලබාදීම මගින් ඇය අප රටේ ගෞරවයට සිදු කරන හානියට වගකියන්නේ කවුද? 5. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය තම වගකීම පැහැර හැර කටයුතු කරන බවක් මෙහිදී පෙනී යනවා නේද?
මේක මේ කාන්තාවට පිටරටක විසා ගන්න විතරක් කරපු දෙයක් නොවෙයි. අපේ රට ගිලගන්න බලන බටහිර රටවල උවමනාවට කරපු දෙයක්.
ලුම්බිණි , හේතුවක් සහ ඵලයක් නොමැතිව සිද්දියක් පරීක්ෂණයක් කරන්න බැහැ. සිද්ධියක් උනානම් දෙපැත්තෙන් කවුරු හරි ඉන්න ඕන. එක්කෝ කරපු අය ඉන්න ඕන. නැත්නම් වූන අය ඉන්න ඕන. ඒ දෙකම නැත්නම් දෙපාර්ශවයේම එකගත්වයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර එහෙම දෙයක් වෙලා නැහැ කියලා ලෝකයට දන්වන්න ඕන.
මේ ලුම්බිණි, ඔයාට තියෙන්නේ ස්විස්ස් එම්බසියට ගිහින් ඒ ගැහැණු කෙනාව මුණගැහෙන එක. නමක් ගමක් නැතිව, ප්‍රශ්න කරන්න දෙන්නේ නැතිව ඉන්නේ මොකටද කියලා හිතන්න.
තානාපති නිලධාරීන්ට හිරිහැර කිරීම දැඩි ලෙස හෙලා දකිමු. මෙවැනි ජාතිවාදීන්ගෙන් රට බේරාගමු.
ස්විස් තානාපති කාර්යාලයේ ක්‍රියා පටිපාටිය ගැන ඒකඟ වෙන්න බැහැ. පරීක්ෂණය ඉදිරියට ගෙන යන්න නම් පැහැර ගැනීමට ලක් වූවා යයි කියන අය අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දිය යුතුයි. ඒසේ නො දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා වුව ද රටින් බැහැර වීමට ඉඩ නො දිය යුතුයි. ඇයි මේ රටේ දි ප්‍රතිකාර ගන්න බැරි? කුමන ත්ත්තවයක් යටතේ වුවත් පොලිස් පරීක්ෂන ඉදිරියටම ගනෙ යා යුතුමයි.
මේ තැනැත්තිය කවුරු උනත් කමක් නෑ අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා. දෙවෙනි එක යම් තානාපති කාර්යාලයක රැකවරණ ලබන තැනැත්තෙක් සම්බන්ධව සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. බුරුම තානාපති කාර්යාල සිද්ධිය උදාහරණයක්. මේ වගේ සුළු චෝදනාවක් මත අපි ජාත්‍යන්තරය සමග ගෙවීම තේරුමක් නැහැ. තානාපති කාර්යාලයක් කියන්නේ අපිට ඕනේ දේවල් කරන්න පුළුවන් භූමියක් නෙවේ. ඕනෙමනම් තානාපති සබදතා නවත්තන්න පුළුවන්. ඒ තරම් ගොන් වැඩක් අපි කළ යුතු නෑ කිසිසේත්ම. සමහර අදහස් දක්වන අය හිතන් ඉන්නේ කස්සිප්පු පොළකට පොලීසියෙන් පනිනවා වගේ තානාපති කාර්යාලයකට ගිහින් පරික්ෂා කරන්න පුළුවන් කියලා.