(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන්  සභා  සියල්ල ඉදිරි සති දෙක තුළ පත්කර  අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

කොමිෂන්  සභා  පත් කිරීම දීර්ඝ කාලයක්  ප්‍රමාද වූයේ  ඒ සම්බන්ධයෙන් අයදුම්පත් 2000ට ආසන්න සංඛ්‍යාවක් ලැබීම නිසා බව පැවසූ කතානායකවරයා ඇතැම් පුද්ගලයන් කොමිෂන්  සභා නවයටම  අයදුම්පත් යොමු තිබූ බවද  සඳහන් කළේය.

මේ හේතුවෙන් සුදුස්සන් තෝරා ගැනීම දුෂ්කර වූ බවද ඔහු පැවසුවේය.

ස්වාධීන කොමිෂන් කොමිෂන්  සභා සියල්ල පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇත්තේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව මුල් වරට රැස්වූයේ පසුගිය ජනවාරි මස 25 වැනිදාය.

අලුතින් පිහිටුවීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා වන්නේ මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි.