(මනෝප්‍රිය ගුණසේකර)

කාර්යාල සේවිකාවකට ඉතා අමානුෂික අන්දමින් පහරදුන් සමාගම් හිමිකරුගේ හා ඔහුගේ බිරිඳගේ මානසික තත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.

සැකකරු කාර්යාල සේවිකාවට පහර දෙන්නේ සාමන්‍ය පුද්ගලයකු කටයුතු කරන ආකාරයට නොවන අමානුෂික ආකාරයෙන් වන හෙයින් සැකකාර යුවළගේ මානසික තත්වය පරීක්‍ෂා කිරීමට නියම කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙලෙස මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට නියම කරන ලද්දේ කඳාන කේ.ඩී. එක්ස්ප්‍රස් කුරියර් සර්විස් ආයතනයේ හිමිකරු වන කසුන් මධුෂංක සහ ඔහුගේ බිරිඳ වන ප්‍රහර්ෂණී අරුණැලී යුවළගේය.

කාර්යාල සේවිකාවකට ඉතා අමානුෂික අන්දමින් පහරදුන්නෙන් යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර යුවළ පසුගිය 16 වැනිදා වැලිසර වැඩබලන මහෙස්ත්‍රාත් දිනුෂි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 02 බැගින් වටිනා ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට නියම කෙරිණී.

මෙම පැමිණීල්ල යළි කැඳවනු ලැබු අවස්ථාවේදී සැකකාර යුවළ අධිකරණයේ පෙනී සිටි අතර සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලිසිය සැකකරු පැමිණීලිකාර කාර්යාල සේවිකාවට පහර දෙන අයුරූ දැක්වෙන සී”සී”ටී”වී” දර්ශන පරීක්‍ෂා කළෙළ් යැයි දැනුම් දුන්නේය.

එම සී”සී”ටී”වී” දර්ශන නිරීක්‍ෂණය කිරීමේදී ඔහු කටයුතු කොට ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු කටයුතු කරන ආකාරයට නොවන බව පැහැදිලි වන්නේ යැයි කී කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හේවාවිතාරණ මහතා සැකකාර යුවළ මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඔවුන්ගේ මානසික තත්වය පරීක්‍ෂා කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකාර යුවළ රාගම රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඔවුන්ගේ මානසික තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සැකකාර යුවළගේ ඇපකරුවන්ට නියම කළේය.

මෙම පැමිණීල්ල නොවැම්බර් 27 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කෙරිණී.