(නිමන්ති රණසිංහ)

බම්බලපිටිය මල්ලිකා ළමා නිවාසයේ සිව් හැවිරිදි දරුවකුට කම්මුලට පහරදී හිංසා කළැයි බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (22) නියෝග කළාය.

දෙමාපිය රැකවරණය නොමැති මෙවැනි දරුවන් අකීකරු විය හැකි බැවින් දරුවන් පාලනය කිරීම සදහා වෙනත් මානුෂීය ක්‍රම ඇති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, ඇප ලබා ගැනීමෙන් පසු එම දරුවාට වෙනස්කමක් නොකරන ලෙසට අවවාද කරමින් සැකකාරිය ඇප මත මුදා හැරියාය.

මෙලෙස ඇප මත මුදා හැරියේ මල්ලිකා ළමා නිවාසයේ පාලිකාව වන ආරච්චිලාගේ සුමනාවතී නැමැත්තියය.

මෙම ළමා නිවාසයේ කුඩා දරුවකුට එහි පාලිකාව පහරදෙමින් හිංසා කරන බවට ජාතික ළමා රක්ෂණ අධිකාරියේ 1929 අංකයට ඇමතුමක් ලැබී ඇති බවත් එහිදී අධිකාරිය එම පැමිණීල්ල සම්බන්ධයෙන් තමන්ට දැනුම් දුන් බවත් බම්බලපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.