දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කලිනොච්චිය පච්චිපලෙයිහි පිහිටි යුද හමුදා කඳවුරකට අනවසරයෙන් ඇතුළුවීයැයි විරෝධය පළ කරමින් විපක්ෂනායක කාර්යාලයය ඉදිරිපිට පසුගිය සතියේ විරෝධතා දැක්වූ දකුණේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා හමුවී එම සිද්ධිය ගැන සාකච්ඡා කළහ.

මෙලෙස සාකච්ඡා කළේ නව සිහළ උරුමය සරත් මනමේන්ද්‍ර, ජනතෙස පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, දේශ විමුක්ති ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසකි.

තමන්  යුද හමුදා කදවුරට අනවසරෙන් ඇතුළු නොවූ බව පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා උතුරු නැගෙනහිර ආරක්ෂක හමුදා  එම පළාත්වල ජනතාවට අයත් ඉඩම් අක්කර ගණනාවක් බලහත්කාරයෙන් අයිති කරගෙන සිටිනා බවද පෙන්වා දී ඇත.

මෙහිදී  සංවිධාන නියෝජිතයන් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය චෝදනා කරන පරිදි මෙලෙස ආරක‍ෂක හමුදාව ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්නම් එය සාධාරණ නොවන නිසා  මෙහි ඇත්ත නැත්ත  සොයා බැලීමට අවශ්‍ය බවයි.  ඔවුනවද උතුරු නැගෙනහිර පළාත්වල සංචාරයකට කැටුව යන ලෙස මෙම පක්ෂ හා සංවිධානවල නායකයන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර විපක්ෂනායක ඊට කැමැත්ත පළ කළේය.

එලෙස සොයා බැලීමෙන් පසු අසාධාරණයක් සිදුවී ඇත්නම් තමන්ටද දෙමළ ජාතික සන්ධානය හා එක්වී  දෙමළ ජනතාවගේ අර්බුද ගැන   විසඳා  දෙන්නැයි රජයට බලපෑම්  සිදුකර හැකි බවද සංවිධාන නියෝජිතයෝ කීහ.

එමෙන්ම ආර් සමිබන්ධන් මහතා මෙරට විපක්ෂනායක වරයා වන හෙයින් ඔහුට උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ගැටළු ගැන පමණක් කතාකළ නොහැකි බවත් දකුණේ ජනතාවගේ ප්‍රශ්න ගැනද කතා කළයුතු බවත් මෙනිසා දකුණේ ජනතාව අතරටද පැමිණ එම ජනතාව හා සුහදව සාකච්ඡා කරමින් එම ජනතාවගේ ප්‍රශ්න විමසන ලෙසත් සංවිධාන නියෝජිතයන් විපක්ෂ නායකගෙන් ඉල්ලා තිබේ.

පසුගිය මාසයේ උතුරේ සංචාරයක නිරත වූ විපක්ෂ නායකවරයා මෙලෙස අනවසරෙන් යුද හමුදා කදවුරට ඇතුළු වීයැයි කියමින් ඔහු  අත්අඩංගුවට ගත යුතු බවට හා විපක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම දේශපාලන පක්ෂ හා සංවිධාන නියෝජිතයෝ විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

13128660_776168015854133_542467796_o 13128845_776167962520805_1398672024_o(1) 13128932_776167969187471_1254374601_o 13161084_776167982520803_374391618_o