ඔමාන් තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක සිය හාම්පුතා අතින් දූෂණය වී යැයි ඇගේ සැමියා ද   ඇය ද  කියා තිබුණු බවත්,ඒත් එවැන්නක් වු බව වෛද්‍ය පරීක්ෂණයෙන්  තහවුරු නොවූ බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසයි.

ඇයට සිදු වු  අතවරයක් ගැන නොදන්නා බව හාම්පුතා ද ප්‍රකාශ කළ බව ද රන්දෙනිය මහතා කියයි.

ශ්‍රී ලංකා ගෘහ සේවිකාවකට කරදරයක් වී යැයි තොරතුරක් ලද වහාම කළ යුත්තේ රැකියා ඒජන්සියේ පැත්ත නොගෙන ඒ අවස්ථාවේම ඇය පොලිසියකට යොමු කර පැමිණිල්ලක් සටහන් කිරීම නොවේදැයි එසැණ රන්දෙනිය මහතාගෙන් විමසූ විට ඔහු කීවේ කාලය ඉතිරි කර ගැනීම සඳහා එසේ නොකළ බවයි. මෙවැනි සිද්ධියක් වාර්තා වූ විට මුලින්ම කළ යුත්තේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීම බවත්, එවැනි සිද්ධියක් වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වුවහොත් පොලිසියට දැනුම් දෙන බවත් ඔහු කීවේය.

තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියනුයේ මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නැති බවයි.