(නාලක සංජීව දහනායක)
ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස එයට සමාන්තරව මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද (14) උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදය අවම කිරීම සඳහා දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ග ඉදිකිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා එහිදී පැවැසීය.
මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ සෙසු අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසය. එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වා සහ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස කඩිනමින් ඉදිකර අවසන් කළ යුතු බවද ජනාධිපතිවරයා කීය.
එමෙන්ම ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 76 ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කළ යුතු බව කී ජනාධිපතිවරයා නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන්කර එම ප්‍රදේශයේ මාර්ග තදබදයට විසඳුම් ලබාදිය යුතු බවද සඳහන් කළේය.
මෙම මාර්ග පද්ධති ඉදිකර අවසන් වූ පසුව මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවයක් ඇති ආර්ථික කොරිඩෝවක් නිර්මාණය වන බවද ජනාධිපතිවරයා එහිදී කීය.
දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවත් ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය කළ යුතු බව පැවැසූ ජනාධිපතිවරයා ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවෙල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ නගරය දෙසට උදෑසන සහ සවස පවතින අධික මාර්ග තදබදයට කඩිනමින් විසඳුම් සොයන ලෙසටද නිලධාරීන්ට උපදෙස් දුන්හ.
එමෙන්ම කොළඹ නගරයට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේදී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසිය යුතු බවත් ඉදිකිරීම් වලදී විදුලි, ජල සහ දුරකථන මාර්ගවලට සිදුවන හානිය නතර කිරීමට සියලුම ආයතන සමඟ එකාබද්ධව ක්‍රියා කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මාර්ග ඉදිකිරීමට සමාන්තරව පොදු ප්‍රවාහන සේවා දියුණු කළ යුතු බව කී ජනාධිපතිවරයා මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමත් සුඛෝපබෝගී බස් රථ සහ පාසල් රථ සේවාවන් විධිමත් කිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරිණ.
මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර,මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර් ආටිගල, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහත්වරුන් ඇතළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් සුනාමි ගෙවල් හැදීම වගේ වෙයිද දන්නේ නැහැ...?
ජනපතිතුමනි, ගොඩගම ඉංගිරිය පාරත් ඉක්මණට ඉවර කරන්න පියවර ගන්න. දැනට මම 3 වතාවක් ලංකාවට ආවා නිවාඩුවට.... එ්ත් තාම ඔය පාර හදලා ඉවර නැත. පාදුක්ක නගරයත් සංවර්ධනය කරන්න. කවදාවත් සංවර්ධනය වෙන නගරයක් නොවේ පාදුක්ක... මම ඉස්කෝලේ ගිය කාලේ සිට අද වෙනකම් තත්වේ එහෙමමයි. දැන් මට වයස 45. හිතාගන්නකෝ කොළඹ දිස්ත්‍රික්කයේ නගරයක් වෙලාත් තත්වේ...
නුවර පාරේ කිරිබත්ගොඩ වාහන තදබදයටත් විසදුමක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.
ඔන්න දැන් අපේ රටටත් නිවැරදි දැක්මක් සහිත නායකයෙක් ඉන්නවා. වටේ ඉන්න ඇමති, මන්ත්‍රී, අයියලාගේ කුමාරයෝ කුමාරිකාවෝ, නිලධාරියෝ හොරා කන්න, කකුලෙන් අදින්න නොගියොත් රටට හොඳක් වේවි. මිනිස්සුන්ගේ වගකීම දැන් හොඳ පාර්ලිමේන්තුවක් හදලා දෙන එක.
සියලුම මාර්ගවලින් බොරු නාටක පෙන්වීම කඩිනම් කර 2/3 ලබාගන්න.
ඔය ගැන විශාල පළපුරුද්දක් තියෙන බැසිල් ට වැඩේ බාරදුන්න නම් මැතිවරණෙටත් කලින් වැඩෙයි සල්ලියි දෙකම ඉවර කරයි.
ඔක්කොම ඉක්මනට ඉවර කරගන්න. ඊට පස්සේ බබාව යවන්න විවෘත කරන්න. අයියලා මල්ලිලාට අදහස 2/3 ගන්නනේ. අරගෙන ඊට පස්සේ බබාව අගමැති කරන්න. හොඳයි හොඳයි.
මේ ඔක්කොම වික්‍රම කරන්නේ කොරෝනා මුදල් වලින්ද ?
උපදෙස් කාටත් දෙන්න පුළුවන් යන්න පාර හදන තැනට මාසයකට සැරයක් වත් තමුන්ගේ උපදෙස් ක්‍රියාත්මක වෙනවද බලන්න ප්‍රේමදාස මහත්තයා වගේ. නැත්තම් ඕව බොරු කතා විතරක් වෙයි.
ජනපති තුමනි කොළඹ තද බදය ඉවරකරන්න හොඳම විසදුම , කොළඹ ප්‍රධාන මන්සන්ධි සියල්ලටම පුළුල් ශක්තිමත් කොන්ක්‍රීට් ගුවන් පාලම් ඉදිකිරිම , සහ අලුතෙන් ඉදිකරන බයිපාස් මාර්ග සහ මහා මාර්ග දෙපස යකඩ වැටවල් යොදල අලුතෙන් කඩ හැදීම අවහිර කරන්න .