ඉදිරි සියලූ මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට තමන් කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
 
රටේ පවතින මෙම මනාප දේශපාලන ක‍්‍රමය තුළ දේශපාලනඥයින් රට ගැන සිතීමට පෙර තම පෞද්ගලික දේශපාලන ජයග‍්‍රහණයන් වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන ජයග‍්‍රහණයන් රට වෙනුවෙන් ලබාදීමට නොහැකි වී ඇති බවත් ජනපතිවරයා පවසයි.

ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට සහාය පළ කරන ඇතැම් පාර්ශ්ව විරුද්ධ වුවද තම මූලිකත්වය මත මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය යටතේ  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට හැකිවීම පක්ෂ භේදයකින් තොරව රටේ සෑම ජනතාවකටම හිමිකරදුන් ජයග‍්‍රහණයක් ලෙස තමන් සලකන බවද ජනපතිවරයා පවසයි.

රට තුළ පවතින සියලූ මැතිවරණ එක් මැතිවරණ ක‍්‍රමයක් මත පැවැත්විය යුතු බවත් ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීම සඳහා කටයුතු කරන බවත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද මනාප ඡන්ද ක‍්‍රමය වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය හඳුන්වාදීම සඳහා කටයුතු කිරීමට තමන් කැපවී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2015 පැවැති ජනාධිපතිවරණයේදී තමා විසින් ජනතාව වෙනුවෙන් ලබාදුන් ප‍්‍රධාන පොරොන්දුවක් වන මෙම මනාප ඡන්ද ක‍්‍රමය වෙනස්කර ඒ වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය ශ‍්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ඇති කිරීම තුළින් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තමන් ඉදිරියේදී සියලූ කටයුතු සිදුකරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

ජනපතිවරයා සහ උතුරු මැද පළාත් සභා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර පැවති හමුවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ දැනට පළාත් සභා තුළ පවතින ගැටලූ පිළිබඳ මෙහිදි සාකච්ඡාවට ගෙන තිබේ.