(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු මුදල් ප‍්‍රමාණයට වඩා සීයයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි  බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (12) හෙළි කළේය.

මීට පෙර වසර හයක කාලයකදී බැඳුම්කර වෙන්දේසි 248ක් පවත්වා ඇතැයිද ඉන් සමහර අවස්ථා වලදීත් රජයට අවශ්‍ය මුදල් ප‍්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් ප‍්‍රමාණයන් ඉදිරිපත් කොට ඇතත් ඒවා සීයයට 400ක ප‍්‍රමාණයට වඩා ඉහළට ගොස් නැතැයි වාර්තා අනුසාරයෙන් පෙන්වා දුන් රජයේ විගණකාධිපතිවරයා රුපියල් බිලියන 10.058ක් ගැනීමට මෙම වෙන්දේසියේදී රජය කටයුතු කළත් රජයට ලැබුණේ රුපියල් බිලියන 9.658ක් නිසා මෙම වෙන්දේසිය ආරම්භයේදීම රජයට රුපියල් කෝටී 40ක් පාඩුවක් සිදු වු බවද රජයේ විගණකාධිපතිවරයා හෙළි කළේය.

සේවක අර්ථ සාදක අරමුදලේ (ඊ.පී.එෆ්) මුදල් මඟින් 2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු සම්පුර්ණම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීමට හැකියාව තිබු බව පෙන්වා දුන් රජයේ විගණකාධිපතිවරයා සේවක අර්ථ සාදක අරමුදලේ මුදල් වෙනත් ඒවායේ ආයෝජනය කිරීමට යෑමෙන් එහි තිබු මුදලූත් නැති වී ඇතැයිද කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.