(අංජුල මහික වීරරත්න)

මාලි රාජ්‍යයට ගොස් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් එම රාජ්‍යයෙන් ඉවත් කර ගැනීමට ගෙන ඇති  තීන්දුවත් සමඟ සාම සාධක හමුදා සේවයෙ ඇතිවන හිඩැස පිරවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ  සාකච්ඡා කිරීමට රජය තීන්දු කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට පත් කොට තිබේ.

එහි පළමු පියවර ලෙස  සාගල රත්නායක මහතා එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා  සමඟ සාකච්ඡා කොට ඇත. එහිදී සාගල රත්නායක මහතා දැනුම් දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සිදුවන තැන් තවත් තිබේදැයි සොයා බලන ලෙසයි. 

මන්ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් යෙදවීමෙන් මෙරටට විදේශ විනිමය සේම අදාළ නිලධාරීන් වෙත ද සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට අවස්ථාව උදා වෙයි.

සාම සාධක හමුදා තම රටට තව දුරටත් අවශ්‍ය නැති බව මාලි රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇති අතර ඒ අනුව මාලි රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික හමුදා ඇතුළු  වෙනත් රාජ්‍යයන් වලට අයත් හමුදා ද ඉවත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ.