ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ සුරතල් බලු සරතලා වන ආලෝකගේ පා ගමන කිලෝ මීටර් 3,700 ක දුරක් ගෙවා මාස 4 කට පසු ගමනාන්තය වන වොෂින්ටන් අගනුවරට පැමිණියේය.

සාම පා ගමනට එක්වුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගණන 19 කි.  පිරිසට නායකත්වය දෙන්නේ වියට්නාම භික්ෂූන් වහන්සේ නමක් වන පඤ්ඤාකර භික්ෂූන් වහන්සේය. භික්ෂූන් වහන්සේලා සමඟ පා ගමනට ආලෝක නමැති බලු සුරතලා ද එක් විය. සමාජ මාධ්‍ය ඔස්සේ පා ගමන ගැන ඇමෙරිකානුවන්ගේ පමණක් නොව, ලොව පුරා කාගේත් අවදානය යොමු වූයේ ආලෝක නිසාය.

ගැටුම් අවශ්‍ය නැති බවත්, එකිනෙකාට ගරු කරමින්, ආදරය කරමින් සාමයෙන් සහජීවනයෙන් සිටිය යුතු බවත් පසක් කර දෙමින් පා ගමන පසුගිය 2025 වසරේ ඔක්තෝබර් 26 වැනිදා ටෙක්සාස් ජනපදයේ හුඔංග් දාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් ආරම්භ විය.

ටෙක්සාස් සිට වොෂින්ටනයට ආ පා ගමන දුෂ්කර එක්ක් විය. මඟ දිගට ඇමෙරිකානුවන් බොහෝ දෙනකු ලබා දුන් දානය වළදමින්, රාත්‍රියේ කූඩාරම්වල ගත කරමින් භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ පා ගමන සම්පූර්ණ කළහ. තෙමගුල සිහි කරන වෙසෙක් දිනය ඇමෙරිකාවේ ජාතික නිවාඩු දිනයක් කරන්නැයි භික්ෂූන් වහන්සේලා ඇමෙරිකන් රජයෙන් ඉල්ලීමක් ද කළහ.

ආලෝක යනු ඉන්දියාවේ වීදි සුනඛයෙකි. පඤ්ඤාකර හිමි මීට වසර කීපයකට පෙර ඉන්දියාවේ සිට නේපාලය දක්වා මේ අයුරින්ම සාම පා ගමනක නියැලුණි. එහිදී උන් වහන්සේට මෙම වීදි සුනඛයා හමුවිය. ආලෝක යන නමින් නම් කළ සුනඛයා එම පා ගමන අවසන් වනතුරුම භික්ෂූන් වහන්සේලා සමඟ සිටියේය.

පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ පිරිස ඇමෙරිකාවට පැමිණෙද්දී, ආලෝක ද ඇමෙරිකාවට රැගෙන ඒමට කටයුතු කළ අතර අද ආලෝක ඇමෙරිකානුවෙකි. වොෂින්ටන් බලා ආ පසාම ගමනට එක්වීමෙන් පසු ආලෝක සමාජ මාධ්‍ය ඔස්සේ ලොව කා අතරේත් අතිශය ජනප්‍රිය විය. ආලෝක වෙනුවෙන් වෙන්වුණු සමාජ මාධ්‍ය පවා ඇත.

පසුගිය දෙසැම්බරයේ සාම පා ගමනට එක් වුණු භික්ෂූන් වහන්සේලාට අනතුරක් ද සිදුවිය. ඒ, පිටුපසින් පැමිණි

මෝටර් රථයක්, භික්ෂූන් වහන්සේලා යට කර දැමීමට උත්සාහ ගත් නිසාය. අනතුරට පත්වුණු එක් භික්ෂූන් වහන්සේ නමකගේ පාදයක් ද කපා ඉවත් කෙරුණි. එම භික්ෂූන් වහන්සේ, පසුව උන් වහන්සේ අනතුරට පත් කළ මෝටර් රථයේ රියැදුරාට සමාව දීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.
එම සිද්ධියෙන් පසු ජනපදයෙන් ජනපදයට, ප්‍රානස්තයෙන් ප්‍රාන්තයට යද්දී භික්ෂූන් වහන්සේලාට පොලිස් ආරක්ෂාව පවා හිමිවිය. ආලෝකට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු පශු වෛද්‍යවරුන්ගේ සයාහ හිමිවිය. ආලෝක ගමන අතරතුරේ සුළු  සැත්කමකට පවා මුහුණ දුන්නේය.