දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 39 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තුවාල ලැබු තවත් පුද්ගලයන් 48 දෙනකු රොහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

කෝර්ඩෝබා නගරයට ආසන්නව පිහිටි ඇඩමුස් නගරය අසලදී මෙම අනතුර සිදුව ඇති බවත්, මලගා සිට මැඩ්රිඩ් දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියක් පීලි පැන වෙනත් මාර්ගයකට මාරු වීමෙන් පසු මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය දෙකෙහිම මගීන් 400ක් පමණ සිටි බව වාර්තා වේ.

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය දක්වා දින තුනක ජාතික ශෝක කාලයක් ස්පාඤ්ඤ අගමැතිවරයා ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

(හසිනි නවෝද්‍යා)