මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කිසිදු හේතුවක් නැතිව එම තනතුරින් ඉවත් කර  අඩු සුදුසුකම් ඇති නිලධාරියකු පත්කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ විය යුත්තේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු බවත්, සුදුසුකම් ඇති නිලධාරියා ස්ථානමාරු කර  ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙකේ දෙකේ නිලධාරියකු  පත් කර ඇති බවත්,  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පරිපාලන නිලධාරියකු ස්ථාන මාරු කිරීමේ හෝ පත් කිරීමේ බලයක් නැතත් මෙම මාරුව කර ඇති බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන තුන්වැනි පන්තියේ නිලධාරියකු වන ඩී එන් එස් අතුකෝරල මහතායි. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතාගේ අත්සනින් පසුගිය 20 වැනිදා නිකුත් කැරුණු ලිපියක දැක්වෙන්නේ සේවා අවශ්‍යතාවක් මත එම නිලධාරියා පසුගිය 26 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කර ඇති බවයි.

නව සේවා ස්ථානයේ රාකාරි වාර්තා කිරීමට පෙර ඔහු භාරයේ තිබූ සියලු රජයේ ලිපි ලේඛණ හා බඩු බාහිරාදිය ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 11/11 ශ්‍රේණියේ නිලධාරියාට බාර දෙන ලෙස ද එම ලිපියෙන් දන්වා ඇත.

ස්ථාන මාරු කළ නිලධාරියා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කර ඇත්ද යන්න සොයා බලා එසේ නොමැති නම් මූලික විමර්ශයක් පවත්වා සුදුසු තීරණයක් ගන්නා තුරු ස්ථානමාරුව අත්හිටුවන ලෙස එම  නිලධාරියාගේ අභියාචනයක් සැලකිල්ලට ගත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියට ලිඛිතන දැන්වීය.

ඒ අනුව තීරණයක් ගැනීම සඳහා එම ලිපිය ප්‍රධාන ලේකම්වරිය විසින් පළාත් අධ්‍යාපන ලේකම්ට යොමු කර ඇතත් මෙතෙක් ස්ථානමරුව අවලංගු කර නැතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම කොට්ඨාස අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කළේ තමාගේ අවාරණ අනුමැතිය ඇතිව බවත්, ඔහුවෙන්වෙන් අනුප්‍රාප්තිකයකු පත් කළේ තමාගේ අනුමැතියෙන් නොවන බවත් පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා කියයි.

කොට්ඨාස අධ්‍යක්ෂ ස්ථාන මාරු කළේ සේවා අවශ්‍යතා මත මිස කිසිදු විනය හේතුවක් නිසා නොවන බවත්, ඔහුවෙනුවෙන් පත් කළ නිලධාරියා අඩු සුදුසුකම් ඇති අයකු නිසා එම පත්කිරීම අවලංගු කිරීමට තමා පියවර ගත් බවත් කොඩිකාර මහතා පවසයි.