(යොහාන් භාසුර)

සෞදි අරාබියේ ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යෑමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචිවීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

සෞදි අරාබි රාජ්‍යයේ ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රාශියක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත මෙම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ දිනවල සෞදි අරාබියේ නිල සංචාරයක නිරතව සිටින බවත් එම කාර්යංශය කියයි.

සෞදි අරාබියේ ඉදිකිරීම් වැඩබිම්වල ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගතවන්නේ නම් විදේශ ගතවීමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බව ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව කියන විදේශ සේවා කාර්යංශය රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සුදුසුකම් ලත් පුද්ගලයින් https://eservices.saudieng.sa/ar/accreditation/pages/foreignregistration.aspx යන වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වියයුතු බව ද සඳහන් කළේය.