ශ්‍රී ලාංකික ගෘහසේවිකාව ගල් ගසා මරා දැමීමට සෞදි අරාබියේ අධිකරණයක් විසින් පැනවූ දඩුවම ලිහිල් කරන්නැයි ඉල්ලා මේවන විට රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදි අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම කාන්තාවට ලබාදිය හැකි උපරිම නීතිමය සහනයක් ලබා දෙන්නැයි ඉල්ලමින් මෙම අභියාචනය ගොනු කළ බව විදේශ  අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.  අභියාචනයේ නීතීමය ගාස්තු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශය විසින් දරනු ලැබූ බවද එම නිලධාරියා පැවසීය.

ඇය නිදහස් කර ගැනීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය,රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බවද විදේශ   අමාත්‍යංශ නිලධාරියා කියා සිටියේය.