(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයට බලය හිමි මහනුවර පන්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට එම සභාවේ අයවැය පරාජය කරන ලෙස පක්ෂයේ මහ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් එවීමේ අරුම පුදුම සිද්ධියක් වාර්තාවේ.

මෙම ලිපිය දැකීමෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලක පක්ෂ මන්ත්‍රීවරුන් විමතියට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි මන්ත්‍රීවරුන් පවසන්නේ සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් පක්ෂ නායකයක් අවබෝධයෙන් පසුවිය යුතු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අප පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සමගි ජන බලවේග මහලේකම්වරයාගේ එම ලිපිය දැකීමෙන් තමා පුදුමයට පත් වූ බවයි.

පසුව ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් තමා කරුණු විමසු අවස්ථාවේදී එය අත්වැරදීමකින් සිදුවූවක් බව ප්‍රකාශ කළේ යැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය පළාත් පාලන ඡන්දයේදී පන්විල ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් සභිකයෝ 06 දෙනෙක් තේරී පත්වූහ. මීට අමතරව ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධූර පහක්ද ලංකා කම්කරු කොංග්‍රසයට සභික ධූර දෙකක්ද පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා සර්වජන බලයට බලය එක මන්ත්‍රී ධූරය බැගින්ද හිමිවිය. විපක්ෂය ඒකාබද්ධව ඡන්දය පාවිච්චි කිරීමෙන් සමගි ජන බලවේගයට එහි සභාපති ධූරය හිමි විය.