මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මුල් මාස හයේ දී විදේශිය සංචාරකයින් අට ලක්ෂ තිස් දහස් පනස් එක් දෙනකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එය ගිය වසර හා සැසඳීමේදී 14.1% ක වර්ධනයක් යැයි ද එම කාර්යාංශය පවසයි.

ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් වැඩිපුර පැමිණ ඇත්තේ චීනයෙන් හා ඉන්දියාවෙනි. ඊට අමතරව බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය, හොංකොං, රුසියාව ,යුක්රේනය යන රටවල් වලින් ද සංචාරකයින් පැමිණීම සැලකිය යුතු මට්ටමින් වර්ධනය වී ඇතැයි සංචාරක  ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මෙලෙස මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණිමත් සමඟ ලබන වසරේදි දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 25 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද එම කාර්යාංශය කියයි.