(යොහාන් භාසුර)

සංචාරක වීසා ඔස්සේ ශ්‍රී ලාංකිකයින් මැලේසියාවට යැවීමේ තවත් ජාවාරමක් හෙළිවී ඇති බවත් එම ජාවාරම මෙහෙයවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම කාර්යංශය පවසයි.

මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපොලේදී ඊයේ (1) කළ පරික්ෂාවේදී එම පුද්ගලයන්ගෙන් නව දෙනෙකු සංචාරක වීසාවලින් මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සහ කර ඇති බව හෙළි වූ බවත් කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙක් එම කණ්ඩායමට ඇතුළත් බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම පිරිසෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වූ බව කියන එම කාර්යංශය වැඩිදුර විමර්ශන සඳහා එම පිරිස කාර්යාංශයේ විමර්ශන අංශය වෙත යොමුකළ බව ද වැඩි දුරටත් සඳහන් කරයි.