රුපියල් කෝටි 162 කට අධික තැන්පතු වංචා කළැයි චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ ඇතුළු සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ටක්ෂන් පෞද්ගලික සමාගමේ අධ්‍යකෂවරුන් එකොළොස් දෙනා අතුරින් කලින් දිනයට අධිකරණයට නොපැමිණි  කේසර සාමකුමාරට ඇප ප‍්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ඔහු ලබන අපේ‍්‍රල් 27 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළේය.

2006 නොවැම්බර් 01 වැනිදාත් 2008 සැප්තැම්බර් 31 වැනිදාත් අතර කාලයේ  නුගේගොඩදී තැන්පතු මුදල් බාරගැනීම සඳහා සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ටක්ෂන් පෞද්ගලික සමාගමේ අධ්‍යකෂවරුන් ලෙස කටයුතු කරමින් රුපියල් 16,28,468,000/- ක් වංචා කිරිමට හෝ වංචා කිරිමට ඉඩහැරීමට කුමන්ත‍්‍රණය කළ බවට 01, 02 සහ 05 වැනි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ, ජේ. ගමගේ කුමාරි අනුරාධිනි, ඩබ්.ඒ. දර්ශණි මධුවන්ති, දිමන්ති සංදීපිකා අධිකාරම්, නීතීඥ ජේ. ඒ. උපේකෂා සංකේතා ජයසුරිය, බී. ඒ. අසිත ප‍්‍රභාත්, නාලක තුෂාර කරුණානායක, චතුරි අප්සරා සරත්චඥ, සිත්රුවන් ධනංජය හේවාගම, චානක සුරේස් සිරිවර්ධන, සහ කේ.බී. කේසර සාමකුමාර සැකකරුවෝය.

මෙම විත්තිකරු මාස පහක පමණ කාලයක් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහුට එරෙහිව නිකුත් කොට තිබු වරෙන්තුවක් අනුව රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.