බලංගොඩ ඕපනායක ඊරියගස්මුල්ලේ ඉකුත්දා සිදු වූ ජීප්රිය - ත්‍රීරෝද රථ අනතුරින් දැරියක (වෛද්‍යවරියකගේ දියණියක) මිය යාමේ සිද්ධියේ ජීප්රියේ ඉදිරි අසුනේ ගමන් ගත් හමුදා මේජර් වරයෙකු ද අත්අඩංගුවට ගැනීම පිළිබඳව නීති අංශවල දැඩි කතාබහක් ඇති වී තිබේ.

වාහනයක මගියකු ලෙස ගමන් ගන්නා පුද්ගලයෙකු මාරක රිය අනතුරක් සිදු කිරීමට අධාර සහ අනුබල දුන්නැයි අත්අඩංගුවට ගත හැකි දැයි නීති අංශවල අවධානය හා කතාබහට යොමු වී ඇත.

මෙම අනතුර සිදු වූ පෙබරවාරි 18 වැනි දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතාගේ උපදෙස් අනූව මේජර් ඩබ්.ඒ. සමන්ත අත්අඩංගුවට ගත් බව ඕපනායක පොලිසිය රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත දන්වා ඇත.

රිමාන්ඩ් බාරයේ ද සිටි මෙම මේජර් රුපියල් ලක්ෂ දෙක හමාරක ශරීර ඇප මත මුදා හැර සිටියි.

අපරික්ෂාකාරී ලෙස රිය පදවා මාරක අනතුරක් වීමේ වරදට රියදුරු ජානක උපුල් රත්නකුමාර ද මාරක රිය අනතුරක් සිදු කිරීමට ආධාර හා අනුබල දීමේ වරදට මේජර් ද බලංගොඩ රෝහලේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය ලිඛිතව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත දන්වා තිබේ.   

මේ ආකාරයට අනතුරු වලට ලක් වන වාහන වල ගමන් කරන අය අත්අඩංගුවට ගැනීමේ පොලිස් ක්‍රියා කලාපය ගැන රිදයදුරන් සමග ගමන් බිමන් යන වාහන හිමිකරුවන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව වාහන හිමියෝ කිහිප දෙනෙක්ම කීහ.

මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණවර්ධන මහතා පැවසූයේ තමා එසේ ඕපනායක පොලිසියට උපදෙස් දුන් බවයි. එම උපදෙස්  පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස  පොලිසියට දැන් වූ බව ද ඔහු කීවේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 298 සමග කියැවෙන 102 වගන්තිය යටතේ මේජර් අත්අඩංගුවට ගන්නා ලෙස ගුණසේකර මහතා උපදෙස් දී තිබේ. 298 වගන්තියෙන් දැක්වෙන්නේ නොසැලකිල්ලෙන් මරණයක් සිදු කිරීම බවයි.

ශ්‍රී ලංකාවේ අඩු ගණනේ දිනකට මාර්ග අනතුරු 10 ක් පමණ සිදුවෙතියි පොලිස් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.