(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)

ආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පවතින නඩුව  වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම්කාර ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් ඇයට සාධාරණයක් නොලැබෙන බවට ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අදාළ නියෝගය නිකුත් කළේය.
ශෂී වීරවංශ මහත්මිය ගොනු කළ මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ආගමන හා විගමන පනත උල්ලංඝනය කරන ලදැයි තම සේවාදායකයිකාවට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුවක් විභාග කරන බවත් එම නඩුවෙන් ඇයට සාධාරණයක් නොලැබෙන බවට කරුණු ඇති බවත් කීය.