(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ලෝඩ්ස්හිදී ඊයේ (24) රාත්‍රී පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 16ක අනගේ ජයක් ලැබීමට සමත් වූහ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 1-1 ලෙස සම කළේය.

ලකුණු 322 ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය එංගලන්ත පිල ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 305 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පන්දු 100 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 121 ක් රැස්කරමින් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවෙකු බවට පත්විය. ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලු 6 ට 321 (පැතුම් නිස්සංක 25, කමිඳු මෙන්ඩිස් 54, කුසල් මෙන්ඩිස් 121, පවන් රත්නායක 48, ජනිත් ලියනගේ 32, දුනිත් වෙල්ලාලගේ නොදැවී 16, ගුස් ඇට්කින්සන් 55/2, රෙහාන් අහමඩ් 48/2) එංගලන්ත පිල ඕවර 50 කදී කඩුලු 9 ට 305 (ටොම් බැන්ටන් 73, බෙන් ඩුකෙට් 67, ජෝස් බට්ලර් 69, විල් ජැක්ස් 52, ඩිලශාන් මධුශංක 54/2, ඒෂාන් මාලිංග 50/2, දුනිත් වෙල්ලාලගේ 49/3)