හම්බන්තොට නගරයේදී හෙට (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සිවු දෙනකුගේ තහනම් උත්තේජක ශරීරගත වී ඇතැයි ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි වාර්තාවේ. එම ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගිවීමට නියමිතව සිටින ක‍්‍රීඩකයන්ගේ සංඛ්‍යාව හයකි. ඉන් හතර දෙනෙකුට තහනම් උත්තේජක ශරීරගතවීමේ චෝදනාව ලබා සිටීම විශේෂ සිදුවීමකි. නිල නොවන ආරංචි මාර්ගවලින් කියවුණේ චෝදනාලාභී ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කෙරෙන බවයි. හම්බන්තොට නගරයේදී දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා (10) ය. ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන්ට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම ගැන කායවර්ධන සම්මේලනයේ ලේකම් කපිල කුමාර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ ඊයේ (6) රාත‍්‍රිය වනතරු සිය සම්මේලනය නිල වශයෙන් දැනුවත් කර නොතිබූ බවයි. කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන චන්දන අලූත්ගේ මහතා පැවැසුවේ ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් සිවු දෙනකුට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම බරපතළ සිද්ධියක් බවත් ඊට කායවර්ධන සම්මේලනයේ ජාතික පුහුණුකරු වගකීම බාරගත යුතු බවත්ය.