වෙනිසියුලාව කැලඹූ ප්‍රබල භූමිකම්පා ද්විත්වයෙන් සහ පසුකම්පනවලින් මියගිය ගණන ඊයේ (1) 2,500 පසු කළේය. තුවාල ලැබූ ගණන 10,000 ට ආසන්න යැයි පැවැසෙයි. ඊට අමතරව, තවත් 50,000 ක් නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවන බව ද වාර්තා වේ. ඇමෙරිකාවෙන් පමණක් නොව, අසල්වැසි ලතින් ඇමෙරිකා රටවලින් ද සහය සේවා කණ්ඩායම් වෙනිසියුලාවට පැමිණ සිටින බව ද පැවැසෙයි. එසේ වුවත්,අතුරුදන් වූවන් සොයා සිදුවන මෙහෙයුම් සම්බන්ධයෙන් සහ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් වෙනිසියුලා රජය අර්බුදයකට මුහුණ පා සිටින බව පැවැසෙයි.

වසර ගණනාවක ආර්ථික බිඳවැටීම සහ ඇමෙරිකන් සම්බාධක මුල්කොට ගනිමින්, වෙනිසියුලාවේ ආයතනික පද්ධතිය දුර්වල වී පැවතීම හේතුවෙන් මෙවැනි මහා පරිමාණ ව්‍යසනයක් කළමනාකරණය අසීරු බව පැවැසෙයි. 
වෙනිසියුලාව භූමිකම්පාවලින් කැලැඹුණේ පසුගිය 24 වැනිදාය. වෙනිසියුලාවේ උතුරු-මධ්‍යම ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් බලපෑවේය. මෙම ප්‍රබල භූමිකම්පාවලින් පසු පසුකම්පන 782 ක් වාර්තා විය.
විපතට පත් ප්‍රදේශවල ජාත්‍යන්තර මුදාගැනීමේ නිලධාරීන් 4,000කට අධික පිරිසක් සහ වෙනිසියුලානු හමුදාව, පොලිසිය, ගිනි නිවන භටයන් ඇතුළු 26,000ක පිරිසක් සහ ස්වේච්ඡා සේවකයන් 17,800කට වැඩි පිරිසක් සහන සේවා සඳහා යොදවා ඇතැයි ද පැවැසෙයි.