(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැලැක්වීම සඳහා නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

රජය නියම කර ඇති සහතික මිලට අනුව වී මිල දී ගැනීම කාර්යක්ෂමව සිදු කිරීම, වංචා හා අක්‍රමිකතා වැලැක්වීම සහ ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ව්‍යාපාරිකයන්, ගොවීන් ලෙස පෙනී සිටිමින් රජයට වී අලෙවි කිරීම වැලැක්වීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පොහොර ප්‍රතිලාභී ගොවීන්ගේ නාම ලේඛනය, වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත ලබාදීම පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානය යොමු විය. එමෙන්ම ගොවියා වගා කළ අක්කර ප්‍රමාණය පදනම් කරගනිමින් ඔහුට අලෙවි කළ හැකි වී ප්‍රමාණය තහවුරු කිරීම මගින් වංචනික ලෙස වැඩි වී ප්‍රමාණයක් අලෙවි කිරීම වැළැක්විය හැකි බව ද පෙන්වා දෙන ලදී.

වී මිල දී ගැනීමේදී බර අනුව ප්‍රමිතිගත ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වූ අතර, රජයේ ගබඩා ධාරිතාව ඉහළ නැංවීම සඳහා සමුපකාර හා පෞද්ගලික ගබඩා කුලී පදනම මත ලබාගෙන ගබඩා පහසුකම් පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.