(අංජුල මහික වීරරත්න)

විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට( 16) පස්වරුවේ පැවැත්වේ.

“රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන ඉකුත් ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන නොවැම්බර් 20 දා තංගල්ලේදී පැවැත්විණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ වාර්තාවට අනුව ඔක්තෝබර් 30 දින සිට ඉකුත් ජනවාරි 13 දින දක්වා කාලයේ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව සිදුකරන ලද සමස්ත වැටලීම් ගණන 69,960 කි. මේ යටතේ සැකකරුවන් 69,318 ක් අත්අඩංගවට ගෙන ඇත. ඉන් රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 1,446 කි. සැකකරුවන් 58 දෙනෙකු සම්බන්ධව මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. මත්ද්‍රව්‍ය භාවිත කර අත්අඩංගුවට පත්ව මේ වන විට පුනරුත්ථාපනයට යොමු කළ පිරිස 1,384 දෙනෙකි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා ඇතිවන සෞඛ්‍ය, සමාජ හා ආර්ථික පරිහානිය වළක්වමින් සමාජ සුරක්ෂිතභාවය ඇති කිරීම වෙනුවෙන් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ.