(සුජිත් හේවාජුලිගේ)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (31) පැමිණිල්ලක් කළේය.

මෙම තීරණය 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතට ගැනෙන දූෂණ වරදක් බව පවසන ජයසේකර මහතා මෙය විනිසුරුවරුන්ට ස්වාධීන තීන්දු ගැනීමට බලපෑම් කළ හැකි සන්තෝෂමක් ලෙස සැලකිය හැකි බවද පෙන්වා දෙයි.

අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් රජයේ නිලධාරීන් වන හෙයින් නොමනා හෝ නීති විරෝධී වාසියක් විනිසුරුවරුන්ට ලබා දීමට කැබිනට තීරණයට සහභාගි වීමෙන් ඔවුන්ද දූෂණ වරදක් කර ඇතැයි ජයසේකර මහතා එම පැමිණිල්ලෙන් කියා සිටී.

අනාගතයේදී මෙම සංශෝධනයට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් වුවහොත් තමන්ගේම විශ්‍රාම වයස පිළිබඳ තීරණය කිරීමට විනිසුරුවරුන්ට සිදුවීමෙන් නීතිමය සහ හිමිකම් පිළිබඳ ගැටුමක් උද්ගත වන බවද ජයසේකර මහතා පවසයි.