(මනෝප්‍රිය ගුණසේකරු)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ලබන 03 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරයා නිවාඩු ලැබීම නිසා නඩුව ලබන 03 වනදා කැඳවන බව දැනුම් දුන් අධිකරණ ලේඛාධිකාරීවරයා එදින අධිකරණයේ පෙනී සිටිින ලෙස වසන්ත මුදලිගේ මහතාට දැනුම් දුන්නේය.

වසන්ත මුදලිගේ නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට පටහැනි බවට තීන්දු කොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කළ අභියාචනය සළකා බැලීමෙන් අනතුරුව මෙම නඩුව කැඳවීමට තීරණය කොට ඇත.

නීතිපතිවරයා ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නම් කොට ඇත.