( චන්ද්‍රසේන ගමගේ)

විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාට හෝ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් කවුරු හෝ ගෙන එනවා නම් ඊට තම පක්ෂය සහයෝගය නොදෙන බවත් එම ඇමැතිවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කාරණා විශ්වාස භංගයක් ගෙන ඒමට තරමේ බරපතල කාරණා නොවන බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද(14) රන්නේ දී පැවසීය.

රන්න ‘කට්ටකඩුව‘  මහවැලි ගොවි සංවිධානය විසින් ඉදි කරනු ලැබූ නව ප්‍රජා ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවේදී ඇමැතිවරයා එසේ පැවසීය .

‘‘වැරදි කරල තියෙනවානම් මහජන දේපල මං කොල්ල කාලා තියෙනවානම් පුද්ගලයා කවුරු වුණත් පක්ෂය කුමක් වුණත් අපි ඊට සහයෝගය දෙනවා පමණක් නොව ඔවුන් තනතුරු වලින් ඉවත් කරන්නනත්  කටයුතු කරනවා. මීට පෙර මේ රටේ නොතිබු දෙයක් දැන් රට තුළ ස්ථාපනය වෙමින් යනවා. නිදහසෙන් පසු චෝදනා වලට ලක්වූ ඇමැතිවරයෙක් අපේ රජය යටතේ ඉල්ලා අස් වුණා. ඒ තිලක් මාරපන ඇමැතිවරයා. මේ ළගදි රවි කරුණානායක ඇමැතිවරයාත් ඉල්ලා අස් වුණා.දේශපාලකයන් මොන දේ කිවුවවත් රටේ ජනතාව දන්නවා. ඇත්ත මොකක්ද කියලා ජනතාවගේ මතයට ගරු කරමින්  දේශපාලකයන් තනතුරු වලින් ඉල්ලා අස් වීම හොද දෙයක් වශයෙනුයි මම දකින්නේ‘‘