
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මතු කළ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ අධ්‍යාපනයට බලපාන සියලූ පුරප්පාඩු පිළිබඳ සොයා බලා අවශ්‍ය පරිදි ඒවා සම්පූර්ණ කළ යුතු බවත් පසුගිය වසරවල උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ ප්‍රතිපාදන නිසිපරිදි භාවිතයට නොගැනීම නිසා වාර්ෂික ඇස්තමේන්තු සැකසීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කළයුතු බවත් අගමැතිවරිය කීවාය.
විදේශ ණය ආධාර යටතේ රටට ලැබුණ මුදල්වලින් හරියට වැඩ කළේ නම් මෙරට විශ්වවිද්‍යාල කේම්බි්‍රජ්, ඔක්ස්ෆර්ඩ් තත්වයට ගෙනඒමේ අවස්ථාව තිබූ බව කී අග්‍රාමාත්‍යවරිය නිවැරදිව අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ව්‍යාපෘති නිර්මාණය නොවීමෙන් මුදල් නාස්තියක් වී ඇති බව ද සඳහන් කළාය.
පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙනුත් නිසි ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට කොමිෂන් සභාව දෙන අනුමැතිය අවභාවිතා කරමින් සමහර ආයතන කටයුතු කරන බවත් අගමැතිවරිය සඳහන් කළාය.
විශ්වවිද්‍යාල තුළ සිදුවන ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී සහ උපාධිය ගැනීමේදී වන ප්‍රමාදය නතර කිරීමට විශේෂයෙන් අවධානය යොමු වියයුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
සබරගමුව, පේරාදෙනිය, ඇතුළු විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම, ශිෂ්‍ය සුභ සාධනය, පුහුණු අවස්ථා නිසි පරිදි ලබාදීම මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු ගණනාවක්, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය.
මෙම අවස්ථාවට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති කපිල සෙනෙවිරත්න මහතා, උපසභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජ්‍ය ඇමැතිතුමා ඉඩදෙයිද විසඳන්න...?
ප්‍රශ්නටික නිලධාරීන්ට බාරදී ඇත. මෙය සිසුන්ගේ කනින් රිංගීමට ගත් උත්සාහයකි.
විශ්ව විද්‍යාලවල දේශපාලනය කරන එක නතර කරලා, පරණ හණමිටි තාලෙට සහ කුහකකමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා එරෙහි වන දේවල් නතර කරලා නොමිලේ දෙන අධ්‍යාපනය අරගෙන රටට සේවයක් කරන ආකල්පය හදාගන්න අවශ්‍යයි. මොන භෞතික සම්පත් දුන්නත් වැඩක් නෑ ආකල්ප නරක නම්...
ගැටළු විසඳුවොත් ඉතින් සමහර අයට පාඩුයි. හිඟන්නාගේ තුවාලය වගේ තියෙන එක තමයි හොඳ...
වි විද්‍යාල ඇතුලේ අවුල් හැදුවේ කවුද කියලා කවුරුත් දන්නවානේ නෝනේ.... ඕක විසඳන්න පුළුවනි. ඔය අවුල් ඇතිකළ අයටම තමයි..
ඔව්, ඔව්... නැතිනම් වෑල්ඩින් කරන අය ආචාර්යවරු වෙනවා.
ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක් ලෝක විශ්ව විද්‍යාල වල පළවෙනි පන්සියයකටවත් නෑ. එහෙම නැති වෙලා තියෙන්නේ ආචාර්යවරුන්ගේ මහාචාර්ය පදවි හින්දා. මේ ආචාර්යවරුන් කසිකබල් ජර්නල්වල රිසර්ච් පබ්ලිෂ් කරලා තමයි මහාචාර්ය පට්ටම් ගත් අරන් තියෙන්නේ. ඒ ජර්නල් කිසිම sci/ssci index එකක් නෙමේ. ugc කියන එක විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ට යටවෙලා තියෙන්නේ ඒක ස්වාධීන හා ආයතනයක් නොවී. ලංකාවේ විශ්ව විද්‍යාලයට බඳවා ගන්නේ තියෙන පබ්ලිෂ් කරපු පුද්ගලයින් නෙවෙයි. තමන්ගේ යටවැසි සිසුන් ඔවුන්ගේ පළමු උපාධිය. ආසියාවේ විශ්ව විද්‍යාල වන සිංගප්පූරුවට හොංකොං, චීනය වගේ රටවල් වල කොහොමද විශ්වවිද්‍යාලයට බඳවා ගන්නේ..? කොහොමද උසස් වීම් දෙන්නේ? ඒ විදියට අනුගමනය කරා නම් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයත් උසස් තත්ත්වයට යන්න තිබ්බා. ලංකාවේ විශ්ව විද්‍යාලවල ඇති තරම් භෞතික සම්පත් research කරන්න තියෙනවා. ඒවා හරියට ප්‍රයෝජනයට ගන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ගොල්ලෝ බොරු වපුරන එක තමයි කරන්නේ. ලංකාවේ උපාධි ගන්නා දක්ෂ සිසුන්ට නිකම්ම ඉගෙන ගෙන රට හැර යනවා. ඒක රටට විශාල පාඩුවක්. මේ සිසුන් රටේ වැඩක් නොකර පිටරට පදිංචියට යනවා නම් ඒ මුදල ඔවුන්ගෙන් අය කරගත යුතුයි...