(අංජුල මහික වීරරත්න)

තිස්සමහාරාම කරපිඩංග වැව ප්‍රතිසංස්කරණයේ දී අනුමත සීමාව ඉක්මවා කැළේ සුද්ද කළ කොන්ත්‍රාත්කරුට නඩු පැවරීමට  තීරණය කර තිබේ.

තිස්සමහාරාම කරපිඩංග වැව දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය විසින්  රුපියල් මිලියන 45.27ක් වැය කර ප්‍රතිසංස්කරණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එහිදී  අවට පරිසරයට ද විශාල හානියක් සිදු වී ඇති බවට මාධ්‍ය වාර්තා කර  තිබිණි. 

ඒ අනුව මෙම වැව ප්‍රතිසංස්කරණයේදී සිදුව ඇතැයි කියන පරිසර හානි පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා  දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට  නියෝග කළේය.

මෙම වැව ප්‍රතිසංස්කරණය සඳහා හම්බන්තොට දිසා වන නිලධාරි විසින් අනුමැතිය ලබා දී ඇති අතර, එම වැව කිසිසේත්ම යාල පරිවාර කලාපයට අයත් ප්‍රදේශයක් නොවන බව දිසා වන නිලධාරී  තහවුරු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා  කොන්ත්‍රාත්කරුට ලබා දුන් සීමාවෙන් ඔබ්බට අක්කර කාලක ප්‍රදේශයක් යන්ත්‍රානුසාරයෙන් එළිකර ඇතැයි ද  එහි තිබී ඇත්තේ පඳුරු ශාඛ පමණක් නමුත් දී තිබු සීමාවෙන් ඔබ්බට කැලය කපා හානියක් සිදු කිරීම  කොන්ත්‍රාත්කරු විසින් හිතාමතාම සිදු කර ඇති බැවින් ඔහුට විරුද්ධව නඩු පැවරීමට හම්බන්තොට දිසා වන  නිලධාරී විසින් කටයුතු යොදා ඇති බව දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට දැනුම් දී ඇත.