(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වැලිකඩ බන්ධනාගාරය පවතින ඉඩම ආයෝජකයකුට දීම සඳහා රුපියල් බිලියන 32ක තක්සේරුවක් කර තිබෙන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එලෙස ලැබෙන  මුදලින් කොටසක් යොදාගෙන හොරණ ප්‍රදේශයේ බන්ධනාගාරය ඉදිකර ඉතිරි මුදල භාණ්ඩාගාරයට ලබා දෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් තීන්දුව ගෙන  අවසන් බව සඳහන් කළේය.

බස්නාහිර පළාතේ වටිනාම වාණිජ ඉඩම වැලිකඩ බන්ධනාගාරයේ ඉඩම බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහි අක්කර හතළිහක්  තිබෙන බවද කීය.

බන්ධනාගාරය හොරණ ස්ථාපිත කිරීමට  අක්කර දෙසීයක ඉඩමක් ලබාගෙන අවසන් බවද ඒ සැලසුම් සියල්ල අවසන් වේගෙන යන අතර මහා භාණ්ඩාගාරයේ එක රුපියලක් වත්  වියදම් නොකර අදාල කාර්යය කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරය වෙනත් තැනකට ගෙන යාමට  තීන්දුවක් ගෙන තිබේදැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අනුරාධ  ජයරත්න මහතා මේ බව සඳහන් කළේය .