හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (14) මරණීය දණ්ඩනය නියම කළේය.
ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු වෙලේ සුදාගේ බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
ගල්කිස්ස අධිකරණය අසල ප්‍රදේශයකදී විත්තිකරු හෙරොයින් ජාවාරම් කරමින් සිටි බවට වූ චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා මෙලෙස විත්තිකරුට මරණ දඬුවම පැනවීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී වෙලේ සුදා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගෙන තිබූ අතර හිරගෙදර ඇතිවූ කැරැල්ලකදී ඔහුගේ මිතුරා මියගොස් තිබිණි.
මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේදී වෙලේ සුදා සාක්කි දෙමින් තම පියාට අයත් පොල් ඉඩමකින් ලැබුණු පොල්, අන්නාසි සහ බිත්තර විකුණා තමා පෝසතකු වූ බවත් තමන් අකුරු නොදන්නා නමුත් තම දරු තිදෙනා කොළඹ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හදාරන බවත් පැවසීය.
කොළඹ හතෙන් මන්දිර, කොළඹ මධ්‍යයේ ඉඩම් මෙන්ම ඉන්ධන පිරවුම්හල්ද ඇති තමන්ට සුපිරි නවීන පන්නයේ වාහන ඇති බවද ඔහු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පිළිගත්තේය.
ඉදිරිපත්වූ සියලු සාක්කි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි තීරණය කරමින් ඔහුට මරණ දඬුවම පැනවීය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.
සමාජයක පුද්ගලයන්ට හා රටට කිව නොහැකි හානියක් කරන මෙවැනි වැරදිකරුවනට උපරිම දඬුවම් දියයුතු බවත් වෙලේ සුදාට එරෙහි චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ බවත් විනිසුරු ප්‍රකාශ කළේය.
මෙවැනි අයට ඉහළම දඬුවම පැනවීමෙන් හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවන් දෙවරක් සිතා බලනු ඇතැයිද විනිසුරුවරයා කීවේය.
වෙලේ සුදා විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයද විනිසුරුවරයා ඉවත දැමීය. 2008 දෙසැම්බර් 4 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක මර්දන අංශය ගල්කිස්සේදී ඔහු අත්අඩංගුවට ගත්තේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේදී වෙලේ සුදාට මරණ දඬුවම ලැබුණා . එත් පසුගිය කාලයේදී අප නිරතුරුව ඇසු, වෙලේ සුදා සමඟ ඈඳුණු දේශපාලකයින් ගැන මොකුත් සඳහනක් වත් නැහැනේ .සමහර විට ඒවා අප ඒ ඒ කාල වලදී අහන උණුසුම් පුවත් පමණක් විය හැක .(ම)
තෝරු මෝරු බේරිලා සේරමගේම පව් හාල්මැස්ස පිටින් ගියා (බ)
හොරයින් ග්‍රෑම් 7.06 කට නඩු වැටුනත්, අප අසා ඇති පරිදි වෙලේ සුදා යනු මහා පරිමාණයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකි. ඒ නිසා, ඇතැම් විට ඔහු අයත් වන්නේ 'තෝරු මෝරු' වර්ගයට විය හැක. (ර)
පවු කියලත් හිතෙනවා දැන්නම්. නමුත් ඉතින් මොනා කරන්නද. මෙයා නිසා අකාලේ විනාශ උන තරුණ ජිවිත කොතෙක් නම් ඇද්ද එහෙම බැලුවොත්? (ර)
මගේ හිතටත් දුකක් දැනෙනවා. ලස්සන කොල්ලෙක්. එ්ත් නරක වැඩ කලොත් නිසි දඩුවම් ලැබිය යුතුයි. (ස)
කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න ගියේ නැතිනම් වටිනා තරුණ ජීවිතයක්. (ස)
කරපු වැරදි දැන් තේරෙනවා ඇති. (ර)
මහා රූස්ස ගහක දළු කැපුවට ගහ මැරෙන්නේ නැහැ.ගහ කඳින් කපන්න ඕනෑ. වෙලේ සුදාගේ දුප්පත්කම නිසා ඔහුව බිලිගත් කුඩු රජවරු අත්අඩංගුවට ගන්නේ කවදාද? (නි)
ඇමතිවරයෙක් වෙන්න පින නැද්ද? (ර)
මහා පාරේ බෝක්කුවක් උඩ නැත්නම් තාප්පෙකට හේත්තු වෙලා කබ ,හොටු පෙරාගෙන, ගැවසෙන ලස්සන තරුණයෝ දැක්කම චන්දිකට, ඉසුරන්දිට දුක හිතෙන්නේ නැත්ද?ඒ දරුවන්ගේ දෙමාපියන් විඳින දුක ඇහුණාම දුක හිතෙන්නේ නැත්ද? (ස)
බුදුන් වහන්සේ උපධි සම්පත්තියේ වටිනාකම දේශනා කර තිබෙනවා. මෙතන ප්‍රතිචාර දමපු සමහරු වෙලේ සුදාගෙ ලස්සන ගැණ කතා කරල. එහෙම නම් වෙලේ සුදා නිදහස් කරල පාරෙ යන කැත මිනිහෙක් අල්ලගෙන ඇවිත් මරන දඬුවම දුන්නනම් ඉවරයිනේ වෙලේ සුදා පාර්ලිමේන්තු ගිහින් ටී වී ස්ටේෂන් දෙක තුනක් තියාගෙන ලොකු මිනිස්සු එක්ක සම්බන්ධකම් ගොඩ නගාගත්ත නම් මට මොකුත් මතක නෑනෙ කියන්න තිබ්බ. වෙලේ සුදා වික්කෙ කාගෙ කුඩුද කියලයි හොයන්න ඕන. (අ)
වෙලේ සුදාගේ පව්ලේ අයට මොන තරම් ලොකු වේදනාවක් ඇතිද ? (ර)