(රෝෂන් තුෂාර)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී  උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි කියන ජාතික නිදහස් පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු  එම පක්ෂයේ  සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාර්තු 09වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා  කුරුදු වත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් අද  නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී පොලිසිය විසින් නිසි ක්‍රියාදාමයන් අනුගමනය කර නොමැති බවට පෙනී යන හෙයින් මෙම නොතිසිය නිකුත් කෙරිණි.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී  සැකකරුවන් ලෙස නම්කර සිටින. විමල් වීරවංශ,ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ අතර සාක්ෂිකරුවන් දෙදෙනෙකු අද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.