පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවී තිබෙන ගැටළු සහගත තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බැවින් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද පෙරවරුවේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ බහුතර මන්ත්‍රීවරයන් පිරිසක් සිටින දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා බවද කතානායකවරයා එහිදී සඳහන් කළේය.
එමෙන්ම එම දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයා විසින් කතානායකවරයා වෙත ඒ බව ලිඛිතව දැන්වීමක් කිරීම පක්ෂ මහ ලේකම්වරයාගේ යුතුකමක් බවත් කතානායකවරයා විසින් කාරක සභාවට දන්වා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී භාර දුන් අවස්ථාවේදී මෙම කරුණු කතානායකවරයා විසින් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස නම් කරමින් එවන ලද ලිපියක් කතානායකවරයා විසින් කාරක සභාවට ඉදිරිපත් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල , රවුෆ් හකීම් , රවි කරුණානායක , දිනේෂ් ගුණවර්ධන , මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, අමීර් අලි හා අජිත් පී. පෙරේරා යන මන්ත්‍රීවරු කාරක සභාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ප්‍රේමදාස පත් කරන ලෙස ඉල්ලා ඇති ලිපියට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් අත්සන් තබා ඇති බවයි කියන්නේ. විපක්ෂ නායක තනතුර සඳහා කෙනෙකු තෝරා ගන්නා සම්ප්‍රදාය වන්නේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමකින් ගන්නා තීන්දුව අනුව බව කිවත් වරක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයකින් ගාමිණී දිසානායක විපක්ෂ නායක ලෙස පත් කර ගනු ලැබිය. එවර පරාජය වූයේ රනිල් වික්‍රමසිංහ ය. උතුරු නැගෙනහිර කඳුකර හැර අනෙක් ප්‍රදේශ වලින් පසුගිය පළාත්පාලන මැතිවරණයේ දී එජාපයට 30% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු නමුත් සජිත්ට මෙවර ඒ ප්‍රදේශවලින් ලබා ගත හැකි වූයේ 25% ක් තරම් ඡන්ද ප්රතිශතයකි. ඔහුගේ ප්‍රතිශතය 42% ක් දක්වා ඉහළ ගියේ උතුර නැගෙනහිර සහ කඳුකරයේ සුළු ජාතීන්ගේ ඡන්ද නිසාය. විපක්ෂ නායක ධූරයට රනිල් සමග සජිත් පොරයට එක්වීම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වැනි වැඩකි.
එක සැරයක් ජනාධිපතිකම ගන්න මරා ගත්තා. දැන් විපක්ෂ නායකකම ගන්න මරා ගන්නවා. නායකකම් ගන්න මෙහෙම මරා ගන්න ඕනේ නැහැ. නීතියක් ඇතිනේ ඒ අනුව කරුණාකර ක්‍රියාකරන්න. නැගිටලා ඉදිරියට යන්න හිතන්න.
සජිත් තාමත් පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ
අයි දැන් කිව්වා නේද පක්ෂයේ නායකයත් ඉවත්වෙලා ඔක්කොම අර්බුධ විසඳෙන තුරු දිවියන් වෙනුවෙන් කැපවෙන බවක්. දැන් ආයෙත් මිනිසුන් වෙනුවෙන් කැපවෙන්න වගේ හදන්නේ. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්.