(යොහාන් භාසුර)

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වනයට ඉතාම අහිතකර මෙන්ම අපහාසාත්සක තීරණයක් වනු ඇති බවත් හිටපු අමාත්‍යවරයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. 

බොරැල්ලේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (2) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය. 

ස්වාධීන අධිකරණයක් පැවතීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්ය ලක්‍ෂයක් වන අතර අධිකරණයේ ගෞරවයට සහ ස්වාධීනත්වයට දැඩි පහරක් වන තීරණයක් ගැනීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ලබන කාලය වසර දෙකකින් ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ මහතා කීය. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 65 ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 63 ලෙසත්, මෙරට උත්රීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම දක්වා ඇත්තේ අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය සහ තේජස රැකගැනීමට බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව මෙම සූදානමත් සමඟ විනිසුරුවන්ගේ ගෞරවය කෙළසීමට සූදානම් වන බවත්ය. 

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේම දැවැන්ත ගැටලුවක් නිර්මාණය වන බවත් විශ්වවිද්‍යාල මහාචාර්වරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස ද අවුරුදු 65 ක් වන අතර රාජ්‍ය සේවයේ තවත් ඉහළ තනතුරක් වන විශ්වවිද්‍යාල මහාචාර්වරයකුගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නොදැමීමෙන් දැඩි අර්බුදයක් උද්ගත වන බවත් පීරිස් මහතා පැවසීය.