(සුජිත් හේවාජුලිගේ)

විදේශ සේවයේ පුරප්පාඩු 40ක් ළගදීම පුරවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

විදේශ සේවය සඳහා 2018 වසරේ සිට නිලධාරීන් බඳවා ගැනීම් කර නැතැයි වාර්තා වේ.

එබැවින් විදේශ සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා ජුලි මාසය වනවිට 40 දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.

සිය සේවාවන් සිදු කරගැනීමට විදේශ තානාපති කාර්යාලවලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට බොහෝ වෙලාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.