(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

රටේ ආර්ථිකය නැංවීම සඳහා විදුලි බල සැපයුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

මෙරට ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ  අරමුණින් ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා  විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව පෙන්වා දුන්නේය.

එමෙන්ම විදුලිය සඳහා දවසේ අධික ඉල්ලුමක් ඇති කාලය සහ අඩු ඉල්ලුමක් ඇති කාලය අතර පවතින විශාල පරතරය අවම කිරීම වැදගත් බවද  එම කමිටුව සඳහන්  කළේය.

මේ අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරුණේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය (19) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

රටේ බලශක්ති අවශතාව සපුරා ගැනීම සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම සම්බන්ධයෙන් විද්වත්හු රැසක් මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.